ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ නාවික විශේෂ සංග්‍රාමික මූලික පුහුණු විධානය මගින් පවත්වනු ලබන මූලික සීල් පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස සීල් පළඳනාව හිමිකරගත් ලුතිනන් කොයාන් චමිත මහතා අද (28) උදෑසන මියගිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් පැවසුවේය.
ඔහු මිය යන විට 28 වැනි වියේ පසු වූවේය.
ඔහු වැලිසර නාවික හමුදා කඳවුරේදී මිය ගිය බව කී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් පැවසුවේ මියගිය නිලධාරියාගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය මේ වන විට සිදුකෙරෙමින් පවතින බව ය.
ඔහු මියයන විට පෙබරවාරි 4 වැනි දා පැවැත්වෙන නිදහස් දින උත්සවයට අදාළ පෙරහුරුවලට සහභාගිවීම සඳහා වැලිසර නාවික හමුදා කඳවුරට පැමිණ ඇත.
1997 වසරේ ඔක්තෝබර් මස 22 වැනි දා උපත ලැබු ලුතිනන් කොයාන් චමිත, පවුලේ එක ම දරුවා වන අතර ඔහු ගම්පහ බණ්ඩාරනායක විදුහලේ ආදි සිසුවෙකි. 2017 වර්ෂයේ ජූනි මස 30 වැනි දින 60 වැනි ශිෂ්‍යභට බඳවා ගැනීම යටතේ ඔහු නාවික හමුදාවේ පුහුණුව සඳහා එක් විය.
සිය මූලික පුහුණුවෙන් පසු විශේෂ යාත්‍රා බලඝණයේ විශේෂ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කර, 2025 වර්ෂයේ ජනවාරි මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ නාවික විශේෂ සංග්‍රාමික මූලික පුහුණු විධානය වෙත සීල් පුහුණුව සඳහා අනුයුක්ත විය.












