
මාතර සහ දමන ප්‍රදේශවල සිදු වූ යතුරුපැදි අනතුරු දෙකකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
දමන පොලිස් වසමේ පැමිණිගම ප්‍රදේශයේදී එක් දිශාවකට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුරක් සිදුවී ඇති අතර බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපස ගමන් කළ පුද්ගලයා යන දෙදෙනාම පසුව මිය ගොස් ඇත.
මියගිය අය අක්කරපත්තුවේ පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන් වයස අවුරුදු 20 සහ 22ක් බවත් මළ සිරුරු අම්පාර රෝහලේ මෘත ශරීරාගාරයට ගෙන ගොස් ඇති අතර, ගැටුමෙන් තුවාල ලැබූ ලොරි රියදුරු අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් පොලිසිය පවසයි.
මාතර පොලිස් වසමට අයත් මඩිහ ප්‍රදේශයේදී, මාතර දෙසට ධාවනය වූ යතුරුපැදියක් පාලනයෙන් ගිලිහී මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී කෝට්ටගොඩ පදිංචි 40 හැවිරිදි යතුරුපැදිකරු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.












