නව විගණකාධිපතිවරයෙක් පත් කරගනීමේදි පොදු එකඟත්වයකට එළැඹ තිබීම යහපත් තත්ත්වයක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පවසයි. එහි මහ ලේකම් සුනිල් ජයසේකර මහතාගේ අත්සනින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වේ.
රජයේ විගණකාධිපති තනතුරට අයෙක් පත්ක රගැනීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ පැවති මතභේද අවසන් කරමින් ව්‍යවස්ථා සභාව ඒකමතිකව ගෙන ඇති තීරණය පිළිබඳව සිවිල් සමාජ සංවිධානයක් ලෙස තම සංවිධානය සතුටට පත්වන බව ද එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
මෙම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.
නව විගණකාධිපතිවරයෙක් පත් කරගනීමේදි පොදු එකඟත්වයකට එළැඹ තිබීම යහපත් තත්ත්වයක්
රජයේ විගණකාධිපති තනතුරට අයෙක් පත්කරගැනීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ පැවති මතභේද අවසන් කරමින් ව්‍යවස්ථා සභාව ඒ්කමතිකව ගෙන ඇති තීරණය පිළිබඳව සිවිල් සමාජ සංවිධානයක් ලෙස අප සතුටට පත්වන්නෙමු.
විගණකාධිපතිවරයා පත් කිරීම මාස අටක් තිස්සේ කල් යෑම දේශීය වශයෙන් මෙන් ම විදේශීය වශයෙන් ද රටට අහිතකර විය. ඒ් බව අප පිළිගත යුතුය.
ව්‍යවස්ථා සභාවට මෙම කාර්යය අභියෝගාත්මක එකක් වූ බව ඉතා පැහැදිලි ය. එම අභියෝගය ජයගනිමින් රටේ යහපතට හේතුවන ආකාරයට කටයුතු කළ ව්‍යවස්ථා සභාවේ නව සාමාජිකයන් තිදෙනා වෙත ද අපි අපගේ සුබ පැතුම් පළකරන්නෙමු. එමෙන් ම තම සේවය ගෞරවණිය හා ස්වාධීනත්වය රැකෙන ආකාරයට ක්‍රියා කළ ව්‍යවස්ථාදායක සභාවේ හිටපු සාමාජිකයන් තිදෙනා වෙත ද අප අපගේ ගෞරවය පිරිනමන්නෙමු. එකී හිටපු සාමාජිකයන් තිදෙනා මේ රටේ ආණ්ඩු පාලනයන් තුනක් සමඟ තම වගකීම අපක්ෂපාතිව ඉටුකර ඇති බව සඳහන් කරනු කැමැත්තෙමු.
එමෙන් ම අනාගතයේදී මේ රටේ වැදගත් පත්කිරීම් සිදු කිරීමේ දි කල් නොයවා එම කටයුතු සම්පූර්ණ කිරීමේ වගකීම සියළුම පාර්ශ්වයන් වෙත පැවරෙනු ඇත. එහිදි උසස් තවතුරු සඳහා නිසි පුද්ගලයන් ව්‍යවස්ථා සභාව වෙත යෝජනා කිරීමේදි විධායකය වෙත ද ඇත්තේ බලවත් වගකිමකි.
එහිදි අප අවධානය යොමු කල යුතුව ඇති වැදගත් කරුණක් ද තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් ශක්තිමත් කරමින් යහපත් රාජ්‍ය පාලනයක් තහවුරු කරනු පිණිස සර්ව පාර්ශ්වික එකඟතාවයක් සහතික කළ අවස්ථාවක් ලෙස 17වන ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දිය හැකි ය. එකී සංශෝධනය යථාර්තයක් කරගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ එදා උනන්දුවෙන් කටයුතු කළ ආකාරය තුළ එම එකඟත්වය පදනම් කරගනිමින් ඔවුන් එදා පැවති රජයට එක්ව ක්‍රියා කිරීම මඟින් 17වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරවාගැනිමට හැකි විය.
ඉන් අනතුරුව ගෙවුණු ඉතිහාසය සැළකීමේදි 19 වන හා 21 වන සංශෝධනයන් තුළ රටේ ක්‍රියාත්මක වූ සෑම ව්‍යවස්ථා සභාවක් විසින් ම වැදගත් පත්වීම් සඳහා සිය අනුමතභාවය ලබා දී ඇත්තේ සීමිත අවස්ථා කිහිපයකදී හැර අන් සෑම අවස්ථාවකදී ම ඒ්කමතික එකඟතාවයෙනි. රටක් වශයෙන් සැලකීමේ දී එය සතුටු විය හැකි තත්ත්වයකි. අනාගතයේදී ද එය එසේ වනු දැකීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන අප සියල්ලන්ගේම අපේක්ෂාව ය.
සුනිල් ජයසේකර, මහ ලේකම්, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය, 2026.02.08












