වත්මන් Gen Z සමාජය ඩිජිටල් යුගයට උපත ලැබූ සමාජයක් වන අතර එක්සත් ජාතික පක්ෂය මෙම පරම්පරාව සමඟ ඉදිරියට යා යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (04) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති එක්සත් ජාතික පක්ෂය ඩිජිටල් යුගයට ගෙන යාමේ Smart UNP 2026 සමාරම්භක උත්සවය අමතමිනි.
මෙම උත්සව සභාව අමතමින් එක්සත් ජාතික පක්ෂ නායකයා මෙසේ ද පැවසුවේය, “ ස්වාධීන ශ්‍රී ලංකාවක් ස්ථාපිත කළ අපේ නායක ටී.එස්. සේනානායක මහතාගේ 78 වන නිදහස් දිනය අපි දැන් සමරනවා. එතුමාගේ සිට අද දක්වා මේ රට ගොඩනැගීමට කටයුතු කළ සියලුම නායකයින්ට අපි ගරු කරනවා.
2015 දී මම රට භාර ගෙන ස්ථාවරත්වය ගෙනා මේ රටේ ආර්ථිකය 2022 දී කඩා වැටුණා. නමුත් ජනාධිපතිවරයා ලෙස මට ඉතාම කෙටි කාලයක් තුළ ආර්ථිකය යළි ස්ථාවර කර ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට හැකි වුණා. නමුත් ජනතාව තවමත් දැඩි දුෂ්කරතාවයකින් ජීවත් වෙමින් සිටිනවා. අපගේ ආර්ථික සැලැස්ම වූයේ ඉදිරි වසර පහ තුළ ඉක්මනින් සහන ලබා දීමයි. රුපියල් 280ක් වූ ඩොලරයේ වටිනාකම හදිසියේම රුපියල් 300, 360 දක්වා ඉහළ ගියහොත් අප කරන්නේ කුමක්ද ? එබැවින් 2048 දිගු කාලීන ඉලක්කය කරා අපගේ වැඩ සැලසුම් ක්‍රියාත්මක කිරීමට අපි සැලසුම් කළා.
සමහරු ඇහුවා ඇයි මෙච්චර කල් ගන්නේ කියලා. වත්මන් තරුණ පරපුර යුද්ධයෙන් පස්සේ ඉපදුනේ. ඔවුන්ගේ දැක්ම, ආකල්ප අපට වඩා වෙනස්. අපි ඒකටත් සූදානම් වෙන්න ඕනේ. ඒක තමයි එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය.
වත්මන් සමාජය Gen Z කියලා හඳුන්වනවා. ඒක ඩිජිටල් සමාජයක්. අපි දැන් පරිගණක සමඟ ඩිජිටල් යුගයට පිවිස තිබෙනවා. වර්තමාන Gen Z සමාජය ඩිජිටල් යුගයට උපන්, තාක්ෂණික යුගයට උපන් සමාජයක්. මේ පරම්පරාවත් එක්ක අපි ඉදිරියට යා යුතුයි. අපි එක්සත් ජාතික පක්ෂය ඒ තැනට ගෙනියන්න ඕනේ.
අපි ජීවත් වෙන්නේ ජේ.ආර්.ගේ කාලයේ නෙවෙයි. කැමති වුවත් නැතත් අපි දැන් සිටින්නේ ට්‍රම්ප්ගේ ලෝකයේ. ඒ අපේ අසල්වැසි ඉන්දියාව සිටින ලෝකයයි. මේ යථාර්ථය අප තේරුම් ගත යුතුයි. අපි ඒ යුගයට යා යුතුයි. ඒ සඳහා සුදුසු සමාජයක් අප නිර්මාණය කළ යුතුයි.
එදා අපි කෘෂිකර්මාන්තය හරහා ඉදිරියට ගියා, පසුව කර්මාන්ත හරහා ඉදිරියට ගියා. අද අපි ඉදිරියට යා යුත්තේ ඩිජිටල්කරණය හරහායි. එය අප හමුවේ පවතින යථාර්ථයයි. අපි ඒ තාක්ෂණය දෙසට ගමන් කළ යුතුයි. ඒ දැනුම ලබා ගත යුතුයි. එසේ නොවුවහොත් අපට ඉදිරියට යාමට නොහැකි වේවි. එක්සත් ජාතික පක්ෂයේ අරමුණ රට ඒ තැනට ගෙන යාමයි. ලංකාව ජය ගන්න කලින් අපි අපේ පක්ෂය ජය ගත යුතුයි. ඒ නිසා තමයි Smart UNP 2026 වැඩපිළිවෙළ ආරම්භ කළේ.
මෙම පියවරයන් පරීක්ෂා කිරීමේ මාස 6 තුළ අඩුපාඩු තිබිය හැකියි. ඒ සඳහා අපි ඔවුන්ට සමාව දිය යුතුයි. කෙසේ වෙතත් අපි ඉදිරියට යා යුතුයි. අපි අන් අයට මාර්ගය පෙන්විය යුතුයි. ඒ නිසා අපි Gen Z සමඟ සාකච්ඡා කිරීමට මෙහි මාර්ගයක් නිර්මාණය කර තිබෙනවා. දේශපාලනයේ නව පිරිසිදු පුද්ගලයින් සමඟ අපි එක්සත් වෙමු. අපි ස්මාර්ට් සමඟ එක්සත් වෙමු”.















