මේ වසරේ සිට ඩ්‍රෝන යානා නියාමනය සඳහා නිසි වැඩපිළිවෙළක් හඳුන්වාදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු සඳහන් කළේය වාණිජමය වටිනාකමක් සහිත සියලු ඩ්‍රෝන යානා ලියාපදිංචි කළ යුතු බවයි.
“අපි මේක කලින් හඳුන්වා දුන්නේ වසර දෙකකට කලින්. ඇත්ත වශයෙන්ම කිව්වොත් මෙහි වර්ග කිහිපයක් තියෙනවා ග්‍රෑම් 250 සිට කිලෝ ග්‍රෑම් 25 දක්වා කොටස, ඊට පහළට වෙන්න සෙල්ල බඩු කියන වර්ගයට වැටෙන කොටස. අපි සෙල්ලම් බඩු කොටස නියාමනය කරන්න යන්නේ නැහැ. ග්‍රෑම් 250ක් සහ ඊට වැඩි වාණිජ පදනමෙන් පාවිච්චි කරනවා නම් පමණයි ඒවා නියාමනය කළ යුතුයි. මේවා ආනයනය කරනවාට වෙනම රෙගුලාසි තියෙනවා. ආනයනකරුවන් ඒවට අනුකූලව කටයුතු කළ යුතුයි” සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.












