
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමත කිරීමට නියමිත මෝටර් වාහන පනත යටතේ නියෝග සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය.
2025.01.08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමත කිරීමට නියමිත (203 අධිකාරය වූ) මෝටර් වාහන පනත යටතේ නියෝග සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය.
ඒ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (06) පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදීය.
ඒ අනුව (203 අධිකාරය වූ ) මෝටර් වාහන පනත යටතේ අංක 2452/40 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පල කරන ලද නියෝග මගින් කිසියම් මාර්ගයක මෝටර් වාහනයක්, පදවනු ලබන, ක්‍රියාත්මක කරනු ලබන හෝ සත්‍ය වශයෙන් යම් මෝටර් වාහනයක් කායිකව පාලනය කරනු ලබන යම් තැනැත්තකු මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට පොලිස් නිලධරයකු විසින් සාධාරණව සැක කරනු ලබන අවස්ථාවක දී ඒ පොලිස් නිලධරයා විසින් ඒ තැනැත්තා රජයේ වෛද්‍ය නිලධරයකු හෝ රෝහල විසින් තත්කාර්ය සඳහා බලය දෙන ලද යම් නිලධරයකු වෙත වැඩිදුර පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කළ යුතු බව දක්වා ඇත. එමෙන්ම (203 අධිකාරය වූ ) මෝටර් වාහන පනත යටතේ අංක 2455/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පල කරන ලද නියෝගය මගින් අධිවේගී මහා මාර්ගයක රථවාහන වල ගමන් කිරීමේදී සෑම පුද්ගලයෙකුම ,පුද්ගලආරක්ෂක ආසන පටියක් පැළඳ සිටිනු ලැබිය යුතු බව දක්වා ඇත. ඒ අනුව මෙම නියෝග සඳහා කාරක සභාවේ අනුමතිය හිමිවිය.
තවද මෙම රැස්වීමේදී දිවයින තුළ ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ හානිය සහ ඒවා යථා තත්ත්වයට පත්කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහු කාරක සභාව දැනුවත් කළහ. ඒ අනුව කිලෝමීටර 1481 පමණ දුරකින් යුත්, මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග කොටස් 287ක් කැඩී ගොස් ඇති බව එම අධිකාරියේ නිලධාරීහු පැවසූහ. ඒවා නැවත ඉදිකිරීම් සඳහා ඇස්තමේන්තු ගතමුදල රුපියල් බිලියන 86ක් පමණ වන බව එම නිලධාරීහු කාරක සභාවට දැන්වූහ. එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 300ක පමණ අලාභයක් සිදුව ඇති බවද එම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසූහ. තවද ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් රුපියල් මිලියන 63ක පමණ පාඩුවක් ලංකා ගමනාගමන මණ්ඩලයට සිදුව තිබෙන බවත් එම නිලධාරීහු පැවසූහ.
එමෙන්ම ලංකාවේ මාර්ග පද්ධතියට ඒ ඒ ප්‍රදේශවල සිදුව ඇති හානි පිළිබඳව, මහජනතාවට අදාළ බලධාරීන් දැනුවත් කිරීම උදෙසා වෙබ් පිටුවක් සකස් කර ඇති බව කාරක සභා සභාපතිවරයා පැවසුවේය. ඒ අනුව https://road-lk.org/ යන වෙබ් පිටුවට පිවිස අදාළ හානි පිළිබඳව දැනුවත් කිරීමේ අවස්ථාව මහජනතාවට පවතින බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය.
මේ අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය, ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ප්‍රවාහන සහ මහාමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන මහතා, නාගරික සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා, අනෙකුත් ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.











