කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (08) දින ප.ව. 2.00 ට නිකුත්කරන ලද නිල කාලගුණ අනාවැකිය.
ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්කෙහි පවතින ගැඹුරු පීඩන අවපාතය (ප.ව. 2.00 ට පොතුවිල් සිට කිලෝමීටර් 250 ක් ගිනිකොන දෙසින් පිහිටා ඇත) නිරිතදිග බෙංගාල බොක්ක හරහා බටහිරට බරව වයඹ දෙසට ගමන් කර 2026 ජනවාරි 9 වන දින පස්වරු 5.30 සිට රාත්‍රී 11.30 දක්වා කාලය තුළ හම්බන්තොට සහ කල්මුණේ අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.
අද (ජනවාරි මස 08) දින සිට නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ.
ධිවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
වැසි තත්ත්වය: මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, පොතුවිල් සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
සුළඟ: සුළං ඊසාන දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (35-45) පමණ වේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා ඉහළ යා හැක.
මුහුදේ ස්වභාවය: දිවයින වටා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු සිට ඉතා රළු වේ.
කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.5 – 3.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. (මෙය ගොඩබිමට එන රළ උස නොවේ).
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.












