පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට යට වීමෙන් අම්බලන්තොට පොලීසියේ නිලධාරියෙකු මිය ගොස් තිබේ. අද (01) අළුයම 2.30 ට පමණ අම්බලන්තොට වලවේ ගඟ පාලම අසල මාර්ග බාධකයේ දී මෙම අනතුර සිදුව තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්තොට පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් (82615) එම්. සරත් කුමාර මහතා ය. සූරියවැව, වීරියගම පදිංචිකරුවෙකු වන ඔහු දෙදරු පියෙකි. අනතුරින් රාජකාරියේ නිරතව සිටි ග්‍රාමාරක්ෂක නිලධාරියෙකු ද තුවාල ලබා අම්බලන්තොට රජයේ රෝහලට ඇතුළත් කර තිබේ.
අම්බලන්තොට දෙසට ධාවනය වූ මෝටර් රථයක් නතර කිරීමට අණ කළ ද, එය නොනවත්වා පොලිස් නිලධාරීන් වෙතට ධාවනය කර ඇති බව පොලීසිය පවසයි. පලාගිය මෝටර් රථය අම්බලන්තොට නගරයට ආසන්න ප්‍රදේශයක තිබී සොයා ගෙන ඇති අතර රථයේ ගමන් ගත් රියදුරු ඇතුළු පුද්ගලයන් දෙදෙනාම මේ වන විට අම්බලන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් දෙදෙනාම අධික ලෙස බීමත්ව සිටි බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.
මිය ගිය පොලිස් කොස්තාපල් එම්. සරත් කුමාර මහතා ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට ස්ථාන මාරුවක් ලැබ සිට ඇති අතර, අනිද්දාට (03) අම්බලන්තොටින් පිටත්ව යාමට නියමිතව තිබූ බව පොලිසිය පැවසුවේය.












