ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කර වහාම විගණකාධිපති පත්කරන ලෙස හර්ෂ ද සිල්වා ජනපතිගෙන් ඉල්ලයි

ගංවතුර උවදුර හේතුවෙන් රට ඉතාමත් තීරණාත්මක මොහොතකට මුහුණදී සිටින අවස්ථාවක   විගණකාධිපති තනතුර දෙසැම්බර් 07 වනදා සිට පුරප්පාඩු වී තිබීමත් ඒ හමුවේ විගණන සේවා කොමිසමට සභාපතිවරයෙකු නොමැති වීමත් ගැටලු සහගත තත්ත්වයක් මතුකර ඇතැයි මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවමින් අවධාරණය කර ඇත.

මෙම ලිපිය දෙසැම්බර් 22 වනදා දිනැතිව යොමුකර තිබෙන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තිය අනුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු බවත් එය ක්‍රියාත්මක වීම සඳහා ස්වාධීන විගණන යාන්ත්‍රණයක් අවශ්‍ය බවත් පෙන්වාදී තිබේ. එසේම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වන වගන්තියට අනුව විගණකාධිපතිවරයෙකු පත්වන බවත් එම විගණකාධිපතිවරයා විසින් රාජ්‍ය ආයතන විගණනය කර ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කරන බවත් සඳහන්ය. මේ නිසා, විගණකාධිපති ධුරය පුරප්පාඩුවීම නිසා මෙම අනිවාර්ය ව්‍යවස්ථාපිත ක්‍රියාවලියට බාධා සිදුවනු ඇතැයි හර්ෂ ද සිල්වා ජනාධිපතිවරයාට පෙන්වාදී ඇත.

එසේම, රාජ්‍ය ගිණුම් කාරක සභාවත්, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවත් විගණකාධිපතිවරයා විසින් නිකුත් කරන විගණන වාර්තා මත සෘජුවම කටයුතු කරන නිසා මෙම තනතුර පුරප්පාඩුවීම පාර්ලිමේන්තුව විසින් සිදුකරන මූල්‍ය අධීක්ෂණයට බාධාවක් වනු ඇති බවත් සඳහන්ය.

ජාතික විගණන කාර්යාලයේ අයවැය සහ ක්‍රියාකාරී වැඩසටහනේ වගකීම සහ අධීක්ෂණය මුදල් කාරක සභාව සතු හෙයින් එහි සභාපතිවරයා ලෙස ඉතාමත් ඉක්මනින් විගණකාධිපතිවරයෙකු පත්කරන ලෙස අවධාරණය කිරීම සිය වගකීම යැයි තමා සිතන බව හර්ෂ ද සිල්වා මෙම ලිපියේ සඳහන් කර ඇත.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website