හෝටල් නාන කාමරයේ සිටි වෛද්‍යවරියන් වීඩියෝ ගත කළ බවට සැකපිට තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනා අත්අඩංගුවට

2026.04.27 දින නාරාහේන්පිට පොලිස් වසමේ ෆයිෆ් පාර ප්‍රදේශයේ පිහිටි හෝටලයක පැවති වැඩමුළුවකට පැමිණ සිටි වෛද්‍යවරියන් කිහිපදෙනෙකු සමග තවත් කාන්තාවන් පිරිසක් එම හෝටලයේ නේවාසිකව සිටි බවත්, ඔවුන් භාවිත කළ නාන කාමරයේ සිටියදී පුද්ගලයෙකු විසින් එහි ජනේලය හරහා වීඩියෝ ගත කිරීමක් සම්බන්ධයෙන් 2026.04.29 දින නාරාහේන්පිට පොලිස් ස්ථානයට ලද 119 පණිවිඩයකට අනුව විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී එම හෝටලයේම වෙනත් කාමර කිහිපයක නවාතැන් ගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු නාරාහේන්පිට පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 18 හා 19 වයස්වල පසුවන පන්නල හා මහනුවර ප්‍රදේශවල පදිංචි ක්‍රීඩා තරඟයක් සඳහා පැමිණ එහි නවාතැන් ගෙන සිටි දෙදෙනෙකි.

මෙම සැකකරුවන් දෙදෙනා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු බවත්, මොවුන් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති පුහුණුවීම් කටයුතු සඳහා පැමිණ ඉහත හෝටලයේ කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින් සමඟ නවාතැන් ගෙන සිට ඇති බවට වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනා 2026.04.29 දින අළුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර 2026.05.25 දිනට නැවත කැඳවීමට නියෝග කර ඇත.

නාරාහේන්පිට පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website