රසායනික පොහොර වල ඵලදායීතාවය ඉහළ යාමට සහ ඒ හරහා ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට නම් රසායනික පොහොර සමඟ කාබනික පොහොර ද වගාවට භාවිතා කළ යුතු බබව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තුෂාර ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා පැවසීය.
මෙය යළි කාබනික පොහොර යුගය වෙත යාමක් ලෙස වැරදියට අර්ථකථනය නොකළ යුතු බව අවධාරණය කළ ඔහු 2026 යල කන්නයට ප්‍රමාණවත් තරම් රසායනික පොහොර රට තුළ පවතින බව ද අවධාරණය කළේය.
අද (11) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරමින් මෙසේ ද පැවසුවේය, “ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට සහ රසායනික පොහොර වඩාත් ඵලදායී වීමට රසායනික පොහොර යොදමින් කාබනික පොහොර ද යෙදිය යුතු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ නර තිබෙනවා. කාබනික පොහොර වල විශේෂ වැදගත්කමක් තිබෙනවා. පසේ කාබනික පොහොර තිබ්බොත් පමණයි ශාකවලට රසායනික පොහොර වලින් වැඩිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්නේ.
මේ තත්ත්වය ආපසු කාබනික පොහොර වලට යන තත්ත්වයක් ලෙස අර්ථ දැක්විය යුතු නැහැ. කාබනික පොහොර වගාවට යෙදිය යුතු බව අපි දැනටමත් නිර්දේශ කර තිබෙනවා. නමුත් කාබනික පොහොර සොයා ගැනීමේ දී දැනටමත් ගොවි මහත්වරු අපහසුතාවට පත්වෙනවා.
නමුත් අපි කියන්නේ වගා බිම අවට ගොඩක් කාබනික පොහොර තිබෙනවා. වැටේ කොළ පොහොර තිබෙනවා. ඔබ අවට කුකුල් පොහොර, ගොම පොහොර තිබෙනවා. කුණු වළේ දිරපු කොම්පෝස්ට් පොහොර තිබෙනවා. අපි ගොවි ජනතාවගෙන් ඉල්ලන්නේ මේවා වැඩි වැඩියෙන් වගාවට යොදන්න කියලා. ඒකට හේතුව තමයි, එසේ වගාවට කාබනික පොහොර යොදුවොත් තමයි අපි වගාවට යොදන රසායනික පොහොර වල සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ”.













