‘එහි පස්සිකෝ’ සාම පාගමන: අප මෙහි පැමිණ සිටින්නේ සාමය උදෙසාම පමණයි – පූජ්‍ය පඤ්ඤාකාර හිමි

“එහි පස්සිකෝ” සාම පාගමන පිළිබඳ අත්තනගල්ල රජමහා විහාරස්ථානයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී පූජ්‍ය පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේ දැක්වූ අදහස්

නමෝ බුද්ධාය, නමෝ ධම්මාය, නමෝ සංඝාය – නමෝ බුද්ධාය, නමෝ ධම්මාය, නමෝ සංඝාය

ගෞරවනීය මහා සංඝරත්නයෙන්, ගෞරවනීය පන්නිල ආනන්ද නායක හිමිපාණන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි,

ශ්‍රී ලංකාවේ ගරු ජනාධිපතිතුමා, රජයේ නිලධාරීන් ඇතුළුව

සාමය උදෙසා වූ පාගමන වෙනුවෙන් සහ බුදුන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේ මෙන්ම ශ්‍රී මහා බෝධි අංකුරයක් ඇමරිකා එක්සත් ජනපදයට වැඩම කරවීමේ දූත මෙහෙවර වෙනුවෙන් තායිලන්තයේ සිට මෙහි පැමිණි ඔබ සැමටද ස්තුතියි! ශ්‍රී ලංකාවේ සහ ඇමරිකානු ඉතිහාසයේ මෙවැන්නක් සිදුවන ප්‍රථම අවස්ථාව මෙයයි.

මාගේ වම් පසින් සිටින්නේ පණ්ඩිත විමලකීර්ති ස්වාමීන් වහන්සේයි. සර්වඥ ධාතූන් වහන්සේ, බෝධි අංකුරය භාර දීම සහ සාමය උදෙසා වූ මෙම පාගමන සම්බන්ධීකරණයේ ප්‍රධානතම මෙහෙයවන්නා උන්වහන්සේ බව මට කිව හැකියි. අද දිනයේ මෙම කර්තව්‍යය සාර්ථක කර ගැනීම සඳහා උන්වහන්සේ මාස ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් රජය, මහා සංඝරත්නය සහ අනෙකුත් සියලු අංශ සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කළා. මම පණ්ඩිත විමලකීර්ති ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවය පිරිනමනවා.

අප මෙහි පැමිණ සිටින්නේ වෙන කිසිවක් නිසා නොව, සාමය උදෙසාම පමණි. මා මීට පෙර පැහැදිලි කළ පරිදි සහ ඔබගෙන් බොහෝ දෙනෙක් අපගේ සංසදය හරහා අන්තර්ජාලයෙන් හෝ සමාජ මාධ්‍ය ඔස්සේ අපව නරඹන්නට ඇතැයි කියා මා විශ්වාස කරනවා. මෙය ඉතා කෙටි පාගමනක් වුවද, මහා සංඝරත්නයෙන්, රජයෙන් සහ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගෙන් ලැබෙන මෙම අතිමහත් සහයෝගය තුළින් අපට මේ රටටත් මුළු ලෝකයටමත් සාමය උදා කළ හැකි බව මට විශ්වාසයි.

සාමයට අකමැති කවුරුන් හෝ මෙහි සිටිනවාද? අප සැවොම සාමයට ආදරය කරනවා නේද? අප සැවොම සොයන්නේ සාමය නේද? මෙම දූත මෙහෙවරේදී ශ්‍රී ලංකාවට හෝ ලෝකයට සාමය රැගෙන එන්නේ අප පමණක්ම නොවේ. මෙම අරමුණ සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයේ, ශ්‍රී ලාංකික වැසියන්ගේ සහ ලොව පුරා සිටින සියලු දෙනාගේ සහයෝගය අපට අවශ්‍යයි. ආත්මීය වශයෙන් අප සමඟ එක්වෙමින් මෙය යථාර්ථයක් කිරීමට සහාය වන්න. සාමය යනු තමන් තුළින්ම ආරම්භ වන දෙයක්. අප මදක් නතර වී, අප දෙසම හැරී බැලීමට කැමති නම්, අපට සාමය සොයාගත හැකිය.

මෙය එක්තරා පුහුණුවක්. මෙය අපට ප්‍රාර්ථනා කළ පමණින්ම ඉබේ ලැබෙන්නක් නොවෙයි. මෙය දිනපතා සිදු කළ යුතු පුහුණුවක්.

අපගේ ජීවිතයෙන් සුළු කාලයක් හෝ දිනපතා මේ වෙනුවෙන් පුහුණු වීමට අප කැමති නම්, මේ ලෝකය මීට වඩා වෙනස් තැනක් වනු ඇතැයි මම අවංකවම විශ්වාස කරනවා. මොහොතකට සිතන්න, පූජනීය ස්වාමීන් වහන්සේලා, රජයේ නිලධාරීන් සහ සිවිල් වැසියන් ඇතුළුව සිය දෙනෙකු මෙහි සිටිනවා යැයි කියා. සාමය උදෙසා වූ මෙම ගමනට සහභාගී වන සිය දෙනෙකු මෙහි සිටිනවා.

එයින් අදහස් වන්නේ, තම මනස පිරිසිදු කරගත්, වෛරය, ක්‍රෝධය හෝ මෝහය විශ්වය පුරා පතුරුවන්නේ නැති පුද්ගලයන් සිය දෙනෙකු මෙහි සිටින බවයි. ඔවුන් මේ රටට හෝ ලෝකයට කිසිදු ගැටුමක් හෝ කලහයක් ඇති කරන්නේ නැහැ. අපගේ විශ්වාසය, අපගේ ආගම සහ අපගේ පුහුණුව එයයි.

සාමය යනු අප සැවොම පතන, අප සැවොම අපේක්ෂා කරන දෙයයි. එබැවින් අපගේ අහංකාරය අත්හැරීමට අප කැමති නම්, අපට එය යථාර්ථයක් කළ හැකියි. ඒ අනුව, හෙට දිනයේ හෝ ඊට පසු දින උදෑසන අපගේ මෙම පා ගමන ආරම්භ වනු ඇත.

මීට අමතරව, මට එක් සරල ඉල්ලීමක් කිරීමට තිබෙනවා. මෙම පාගමනෙන් ප්‍රබල බලපෑමක් ඇති කිරීම සඳහා එය ඉතා වැදගත් වෙනවා. මෙම පා ගමනෙහි වැදගත්කම රැඳී පවතින්නේ එහි ඇති “නිහඬතාව” මතයි. පූජනීය ස්වාමීන් වහන්සේලා ඉතා නිහඬව වැඩම කරන අතර, ඇතැම් අවස්ථාවල මඟ දෙපස සිටින ජනතාවට ආචාර කළද, අප කිසිදු ශබ්දයක් නගන්නේ නැහැ.

අප අපගේ පියවර සහ හුස්ම ගැන සතියෙන් යුතුව ගමන් කරනවා. අප දිවා ආහාරය ගන්නා ස්ථානවලදී සහ රාත්‍රී විවේකය ලබාගන්නා ස්ථානවලදී පමණක් රැස්ව සිටින පිරිස අමතා අදහස් දක්වනවා. එබැවින්, මෙම සාම පාගමනෙන් ජනතාව කෙරෙහි විශාල බලපෑමක් ඇති කරන බව තහවුරු කරනු පිණිස, සෑම පියවරකදීම සහ සෑම මංසන්ධියකදීම අප පසුපස නොඑන ලෙස සියලුම සිවිල් වැසියන්ගෙන්, යූටියුබ් සහ ටික්ටොක්කරුවන්ගෙන් මෙන්ම මාධ්‍ය ආයතනවලින්ද අප ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

සතිමත්භාවයෙන් තොරව විශාල පිරිසක් එක්ව ගමන් කිරීමෙන් අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය විය හැකියි. ඇමරිකාවේදී අප ලැබූ අත්දැකීම එයයි. මෙය දින හයක කෙටි පාගමනක් පමණයි. එබැවින් මෙය අර්ථවත්ව සිදු කිරීම ඉතාමත් වැදගත්.

එබැවින්, සෑම මංසන්ධියකදීම හෝ සෑම පියවරකදීම ස්වාමීන් වහන්සේලා පසුපස නොපැමිණ මෙම මෙහෙවරට සහයෝගය දක්වන ලෙස මම ඔබ සැමගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඔබ සිටින ස්ථානයේ නතර වී වීඩියෝ කිරීමට, නැරඹීමට හෝ ගෞරව දැක්වීමට ඔබට සම්පූර්ණ අවකාශය තිබෙනවා. එහෙත් දවස පුරා හෝ ගමන අවසන් වනතුරු අප පසුපස පැමිණීමෙන් වළකින්න. එසේම අප සැලකිලිමත් විය යුතු තවත් එක් කරුණක් තිබෙනවා, එනම් විවිධ දෑ පූජා කිරීමයි.

බොහෝ දෙනෙක් ස්වාමීන් වහන්සේලාට පැන් බෝතලයක් හෝ රසකැවිල්ලක් වැනි යමක් පූජා කිරීමට කැමැත්තෙන් සිටින බව මා දන්නවා. එහෙත් යමක් පූජා කිරීමේදී පවා අප සිහියෙන් යුතුව කටයුතු කළ යුතුයි. කරුණාකර එකිනෙකා තෙරපා ගන්න එපා.

ස්වාමීන් වහන්සේ ස්පර්ශ කිරීමට හෝ ආලෝකාව ස්පර්ශ කිරීමට උත්සාහ කරන්න එපා. ඒ වගේම ස්වාමීන් වහන්සේලා පාරේ කොනකට වන සේ තෙරපන්න එපා. මන්ද අප මාර්ගයේ ගමන් කරන විට ඒ දෙපස විශාල පිරිසක් සිටියහොත් අපට ගමන් කිරීමට ඉඩක් නොමැති වන නිසා.

එබැවින්, කුසල් රැස්කර ගැනීම සඳහා මේ සියල්ල පිළිබඳව ගෞරවනීයව සහ පරීක්ෂාකාරීව කටයුතු කරන්න. ස්වාමීන් වහන්සේලා දැකබලා ගැනීමට ඔබ කාලය සහ ශ්‍රමය වැය කර පැමිණි පසු, ඔබ නැවත නිවසට රැගෙන යා යුත්තේ සාමය සහ කුසලයයි. ඒ වෙනුවට නොසන්සුන්බව, ක්‍රෝධය හෝ අකුසල් සිතිවිලි රැගෙන නොයන්න.එය ඉතාමත් වැදගත්. පූජනීය ස්වාමීන් වහන්සේලාගේත්, රටේත්, ලෝකයේත්, ඔබගේත් යහපත උදෙසා මෙම කරුණු බෙදා ගැනීමට මම අද මෙම අවස්ථාව ලබා ගත්තා.

ඔබට බෙහෙවින් ස්තුතියි! බුදු සරණයි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website