ඉස්ලාම් ආගමට අපහාස කළ බවට ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපති අධිචෝදනා ගොනු කරයි

වසර 12කට පමණ පෙර කළ ප්‍රකාශයක් මින් ඉස්ලාමීය ආගමට අපහාස කළ බවට චෝදනා එල්ල වී ඇති බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය ඉදිරියේ අධි චෝදනා පත්‍රයක් ගොනු කර තිබේ.

මහාධිකරණය විසින් කලින් නිකුත් කරන ලද සිතාසියකට අනුව විත්තිකරු වන පූජ්‍ය ඥානසාර හිමියන් ඊයේ (30) අධිකරණයේ පෙනී සිටියේය.

විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා නියෝග කළ අතර සැකකාර පූජ්‍ය ඥානසාර හිමියන් රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කළේය.

2014 අප්‍රේල් 12 වන දින විල්පත්තු ප්‍රදේශයේ නැවත පදිංචි කිරීම පිළිබඳව කරන ලද ප්‍රකාශයෙන් ඉස්ලාම් ආගමට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 219 (B) වගන්තිය යටතේ මෙම නඩුව ගොනු කර ඇත.

මෙම නඩුවට අදාළ මුල් නඩු ගොනු ඊළඟ නඩු විභාගයේදී ඉදිරිපත් කරන ලෙස ද විනිසුරුවරයා නියෝග කළ අතර, බලපෑමට ලක් වූ පාර්ශ්වයන්ට ඊළඟ නඩු විභාගයේදී අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කළේය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website