පිළිකා රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු බ්‍රිතාන්‍යයේ වේල්ස් කුමරිය (කේට්) සිය සැමියා වන ඔටුන්න හිමි විලයම් කුමරු සමඟ ඉන්දියාවේ සංචාරයකට සූදානම් බව බකිංහැම් මාළිගය නිවේදනය කළේය.
ඉන්දීය සංචාරය කුමරිය පිළිකාවට ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු කරන ප්‍රධාන විදේශ සංචාරයක ලෙස සැලකේ.
විලියම් සහ කේට් ලබන අඟහරුවාදා Earthshot ත්‍යාග ප්‍රදාන සම්මාන උළෙල ඇතුළුව දින තුනක සංචාරයක් සඳහා මුම්බායි නුවරට පැමිණෙන අතර එහි දී හමුවීම් ගණනාවක් සංවිධානය කර ඇති බව මාළිගය ප්‍රකාශ කළේය.
44 හැවිරිදි කේට් 2024 දී පිළිකාවක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු දැන් සුවය ලබමින් සිටිය ද, රෝගය තවමත් ඇගේ ජීවිතයට බලපාන බව ඇය පවසයි.
තම පියා වන චාල්ස් රජු මෙන් පරිසරය පිළිබඳ ප්රචාරක කටයුතු ඔහුගේ විශාලතම අරමුණක් බවට පත් කරගත් විලියම්, දේශගුණික විපර්යාස සඳහා විසඳුම් සෙවීමේ අරමුණින් 2020 දී Earthshot ත්‍යාගය ආරම්භ කළේය. එය ඔවුන්ගේ ව්‍යාපෘති පුළුල් කිරීම සඳහා ජයග්‍රාහකයින් පස් දෙනෙකුට පවුම් මිලියන 1 බැගින් (ඩොලර් මිලියන 1.3) ප්රදානය කරයි.
අසනීප තත්ත්වයෙන් පසු කේට් ඇගේ නිල වැඩ ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු කර ඇති නමුත් ඇගේ ප්‍රසිද්ධ පෙනී සිටීම් ක්‍රමයෙන් වැඩි වී ඇත. ඇය රෝගී තත්ත්වයෙන් පසු කිසිදු විදේශ සංචාර සඳහා විලියම් සමඟ එක් වී නොමැත.
2024 වසරෙන් පසු ඇයගේ එකම වැදගත් විදේශ සංචාරය සිදු වූයේ පසුගිය මැයි මාසයේදීය. එම සංචාරයේදී ඇය මුල් ළමාවිය සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරන වැඩසටහනකට සහභාගී වීමට දින දෙකක් තනිවම ඉතාලියට ගියාය.
මූලාශ්‍රය: රොයිටර්














