අටපිරිකර හා පිරිකර අලෙවිය සම්බන්ධයෙන් දිවයින පුරා විශේෂ වැටලීම් – පාරිභෝගික කටයුතු අධිකාරිය

අටපිරිකර හා පිරිකර අලෙවිය සම්බන්ධයෙන් දිවයින පුරා විශේෂ වැටලීම් ක්‍රියාත්මක කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අද (11) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.

පාරිභෝගික ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ අටපිරිකර හා පිරිකර භාණ්ඩ අලෙවියේදී අදාළ නීතිමය අවශ්‍යතා අනුගමනය කරන්නේද යන්න පරීක්ෂා කිරීමේ අරමුණින්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2026 අගෝස්තු 10 දින දිවයින පුරා අටපිරිකර හා ඒ ආශ්‍රිත පිරිකර භාණ්ඩ අලෙවි කරන වෙළෙඳ ආයතන ඉලක්ක කර ගනිමින් විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම විශේෂ වැඩසටහන යටතේ දිවයින පුරා සාර්ථක වැටලීම් 92ක් සිදු කර ඇති අතර, 2026 ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ මීට අමතරව අටපිරිකර හා පිරිකර අලෙවිය සම්බන්ධයෙන් වැටලීම් 35ක් සිදු කර ඇත. ඒ අනුව, 2026 වසරේ මේ දක්වා සිදු කර ඇති මුළු වැටලීම් සංඛ්‍යාව 127කි.

⚖️ අගෝස්තු 10 දින ක්‍රියාත්මක කළ විශේෂ වැඩසටහනේදී, 2015.06.11 දිනැති අංක 1918/20 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ අංක 55 දරන විධානය (Direction No. 55) යටතේ අදාළ භාණ්ඩවල හෝ ඒවායේ ඇසුරුම්වල නියමිත තොරතුරු සඳහන් කර තිබේද යන්න සහ අදාළ නීතිමය අවශ්‍යතා පිළිපදින්නේද යන්න පරීක්ෂාවට ලක් කරන ලදී. වෙළෙඳුන් විසින් පවත්වාගෙන යා යුතු බිල්පත්, ඉන්වොයිසි සහ අනෙකුත් අදාළ ලේඛන සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කරන ලදී.

මෙම විශේෂ වැටලීම්වලදී වාර්තා වූ බහුතර උල්ලංඝනයන් අංක 55 දරන විධානයට අදාළ වන අතර, අටපිරිකර, තනිපට සිවුරු, අදනකඩ, බඳපටි, පාත්‍ර සහ අනෙකුත් පිරිකර භාණ්ඩවල හෝ ඒවායේ ඇසුරුම්වල නියමිත තොරතුරු සඳහන් නොකිරීම ප්‍රධාන වශයෙන් අනාවරණය වී ඇත.

වැටලීම්වලදී නීති උල්ලංඝනයට අදාළ අටපිරිකර, සිවුරු, අදනකඩ, බඳපටි, පාත්‍ර සහ අනෙකුත් පිරිකර භාණ්ඩ ඒකක 436ක් නිලධාරීන් භාරයට ගැනීමට කටයුතු කර ඇත.

විශේෂයෙන්ම, මෙවර පරීක්ෂණවලදී අටපිරිකරවල පිටත ඇසුරුම පමණක් පරීක්ෂා කිරීම වෙනුවට, අහඹු ලෙස තෝරාගත් අටපිරිකර විවෘත කර ඒවා තුළ ඇතුළත් කර තිබූ භාණ්ඩ ද විමර්ශන නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කරන ලදී.

එලෙස සිදුකළ පරීක්ෂාවලදී ඇතැම් අටපිරිකරවල දෙපට සිවුර වෙනුවට තනිපට සිවුරක් ඇතුළත් කර තිබීම, අටපිරිකරට අදාළ කොටස් අට සම්පූර්ණ නොවීම, මිල අනුව ඇතුළත් කර ඇති භාණ්ඩ වෙනස් වීම, ඇලුමිනියම්වලින් නිෂ්පාදනය කළ පාත්‍ර, තැලී ගිය පාත්‍ර සහ මළ බැඳුණු දැලි පිහි ඇතුළත් කර තිබීම වැනි අක්‍රමිකතා අනාවරණය වී ඇත.

මෙවැනි අක්‍රමිකතා පිටත ඇසුරුම නිරීක්ෂණය කිරීමෙන් පමණක් පාරිභෝගිකයාට පහසුවෙන් හඳුනාගත නොහැකි බැවින්, විශේෂයෙන් ආගමික අවශ්‍යතාවක් සඳහා සම්පූර්ණ අටපිරිකරක් මිලදී ගැනීමේදී එහි ඇතුළත් භාණ්ඩ පිළිබඳව ද සැලකිලිමත් වන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාව දැනුවත් කරයි.

මෙම වැටලීම්වලදී අනාවරණය කරගත් නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අදාළ වෙළෙඳ ආයතනවලට එරෙහිව අදාළ මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ නඩු පැවරීමට කටයුතු කරමින් පවතී.

පිරිකර භාණ්ඩවල සහ ඇසුරුම්වල නියමිත තොරතුරු සඳහන් කිරීම, පාරිභෝගිකයාට ලබාදෙන භාණ්ඩවල නිසි තත්ත්වය තහවුරු කිරීම සහ අදාළ නීතිමය අවශ්‍යතා පිළිපැදීම වෙළෙඳුන්ගේ වගකීමක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කරයි. අටපිරිකර හා පිරිකර අලෙවිය සම්බන්ධයෙන් අහඹු වෙළෙඳපොළ පරීක්ෂණ සහ විශේෂ වැටලීම් ඉදිරියටත් දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website