ඩෙංගු වසංගතය අවම කිරීම වෙනුවෙන් දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් අවශ්‍යයි – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

ඩෙංගු මර්ධන සතියට සමගාමීව ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සහ ජනතාව අතර සෞඛ්‍ය ආරක්ෂණ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ලද විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන අමතමින් අද (16) කොට්ටාව ප්‍රදේශය දී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය මෙසේ ද පැවසුවාය. “මේ වන විට ඩෙංගු අවදානම අප රටේ වැඩි වෙමින් පවතිනවා. කොළඹ දිස්ත්‍රික්කය අධි අවධානමක පවතිනවා. මහරගම නගරය ඒ අතරින් විශේෂ බව සෞඛ්‍ය අංශ දැනුවත් කර තිබෙනවා. විශේෂයෙන් පාසල්, රජයේ හා පෞද්ගලික අංශයේ කාර්යාල ඇතුළු පොදු ස්ථානවල මෙම අවදානම පවතින බව හදුනාගෙන තිබෙනවා. රජයක් වශයෙන් ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත්කර එම සතිය තුළ විශේෂ මැදිහත් වීමක් සිදුකර ජනතාවට පවතින ඩෙංගු අවධානම අවම කිරීමයි මෙහි අරමුණ.

මේ සතිය පමණක් නෙමෙයි මේ වෙනුවෙන් දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සකස් කරන්න අවශ්‍යයි. මේ අවස්ථාවේදී සියලු දෙනා එක්රැස්ව අධිෂ්ඨානශීලීව කටයුතු කළයුතු වෙනවා. පසුගිය වසර එකහමාරක කාලය තුල මතුවූ අභියෝග සාර්ථකව ජයගත් ලෙසම මෙහිදී ද සාමූහික ප්‍රයත්නයක් දරමින් මෙම අභියෝගය ජය ගත යුතුයි. ඩෙංගු මර්දන ක්‍රියාවලිය ස්වකීය වගකීමක් ලෙස සලකා ප්‍රථමයෙන්ම කොළඹ දිස්ත්‍රික්කය අධි අවදානමෙන් අඩු අවදානමක් සහිත ප්‍රදේශයක් බවට පත්කර ක්‍රමිකව තුරන් කිරීමට ක්‍රියා කළ යුතුව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අනතුරුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රදේශයේ බස් නැවතුම්පොළ හා ඒ අවට ස්ථාන නිරීක්ෂණය කිරීමට ද කටයුතු ක⁣ළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website