මෙරට සෞඛ්‍ය පද්ධතියේ ප්‍රමිතීන් විශිෂ්ට අයුරින් පවත්වාගෙන යාම සඳහා වෛද්‍යවරුන් ලබා දෙන දායකත්වය නිරන්තරයෙන් අගයකරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් මණ්ඩල නියෝජිතයින් පිරිසක් සමඟ ඊයේ (11) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ සාකච්ඡාවේදීය.
මෙම සාකච්ජාව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ ඉල්ලීමක් පරිදි සංවිධානයකර තිබූ අතර එහි දී සංගමයේ නියෝජිතයන් සිය රාජකාරී ඉටු කිරීමේදී ඔවුනට බලපාන වෘත්තීය ගැටලු පිළිබඳව ද අමාත්‍යවරයා දැනුවත් කළේය.
රජයේ රෝහල් පද්ධතිය තුළ පවතින මානව හා භෞතික සම්පත් ගැටලු පිළිබඳව ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් අමාත්‍යවරයාට කරුණු පැහැදිලි කළේය.
වෛද්‍යවරුන්ට ප්‍රවාහන පහසුකම් සඳහා ඉන්ධන දීමනාවක් ලබා ගැනීම, අඩු පොලී ණය පහසුකම් ලබාගැනීමේ හැකියාව සහ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් යන කරුණු පිළිබඳව ද මෙහි දී සාකච්‍ඡා විය.
මෙහි දී වෛද්‍යවරුන් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව අමාත්‍යවරයා අවධානයක් යොමුකරමින් මුදල් අමාත්‍යංශය ඇතුළු අනෙකුත් අදාළ ආයතන සමඟ සාකච්ඡා කර කඩිනමින් ලබාදිය හැකි සහන ලබාදීමට සලකා බලන බව සඳහන් කළේ ය.
දීප ව්‍යාප්තව ස්ථාපිත කරන ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතියෙන් වෛද්‍යවරුන් ප්‍රමුඛ සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට විශේෂ වගකීමක් පැවරෙන බව අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.
මෙම සාකච්ජාව සඳහා සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍යවරුන් විශාල පිරිසක් දිවයින පුරා ස්ථාන රැසක සිට ZOOMඔස්සේ සම්බන්ධ විය.











