අභියාචනාධිකරණයෙන් ලැබුණු යෝජනාව මෙන්න
ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ ක්රීඩකයින්ගෙන් ආදායම් බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය පිළිබඳ ගැටලුව ඊට සම්බන්ධ සියලු පාර්ශ්ව එක්ව සාකච්ඡා කර විසඳා ගැනීම සුදුසු බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට යෝජනා කළේ ය.
ශ්රී ලංකා ජාතික කණ්ඩායමේ ක්රිකට් ක්රීඩකයින්ගෙන් අදාළ බද්ද අය කිරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා සහ එක්දින කණ්ඩායමේ නායක චරිත් අසලංක ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමක් අද (06) විභාගයට ගත් අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා මෙම යෝජනාව කළේ ය.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ, මෙම ගැටලුව මෙම සිද්ධියට සම්බන්ධ ක්රිකට් ක්රීඩකයන්ගේ පාර්ශ්වය, ශ්රී ලංකා ක්රිකට් ආයතනය, නීතිපතිවරයා සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා එක්ව සාකච්ඡා කර විසඳා ගැනීම සුදුසු බව ය.
තමා මෙහිදී ක්රිකට් ක්රීඩකයින්ට පක්ෂපාතීව කටයුතු නොකරන බව සඳහන් කළ විනිසුරු රොහාන්ත අබේසූරිය ජාතික ක්රිකට් ක්රීඩකයින් යනු ශ්රී ලංකාවේ කීර්තියට දායකත්වයක් ලබා දෙන පිරිසක් බැවින් ඒ සම්බන්ධයෙන් සලකා බලන ලෙසත් ඔහු සිය යෝජනාව ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ ය.
මෙම පෙත්සම වැඩිදුර විභාගය සඳහා ලබන 18 වන දා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කළේ ය.











