ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ අනුෂ්කා තිලකරත්න මහත්මිය සමඟ ‘රතුඉර’ පුවත්පතේ භාතිය බරුකන්ද කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවකි.
- ඔබගේ පවුල් පසුබිම සහ දේශපාලනය පැමිණි ආකාරය ගැන යම් පැහැදිලි කිරීමක් කළ හැකි ද ?
මම අනුෂ්කා දර්ශනී තිලකරත්න, නීතිඥවරියක්, ඒ වගේම දියණියන් තිදෙනකුගේ මවක්. මම ඉපදුණේ වැලිමඩ, අධ්‍යාපනය ලැබුවේ වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයේ. ඊට පසුව මම කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් වෙනවා. මගේ තාත්තා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක්. මගේ තාත්තගේ ආභාෂය අනුව යමින් මමත් පාසලෙන් ඉවත් වෙන කොට ම සමාජවාදී ශීෂ්‍ය සංගමයත් එක්ක කටයුතු කළා. නමුත් නීති පීඨයේ දී ඒ තරම් දේශපාලන සම්බන්ධතා තිබුණේ නැති වුණත් පුළුවන් සෑම අවස්ථාවකදීම ශිෂ්‍ය සංගමයත් එක්ක එකතු වෙලා වැඩ කළා.
මගේ දේශපාලන ජීවිතය ආරම්භ වෙන්නේ විවාහයෙන් පසුවයි. මම විවාහා වුණේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සමාජිකයෙක් සමඟ. ඊට පස්සේ දිගටම දේශපාලන කටයුතුවල නිරත වුණා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ‘අයිතීන් උදෙසා කාන්තාවෝ’ වැඩසටහනේ කැඳවුම්කාරිනිය ලෙස පත් වුණා. ඒ වන විට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන පරිවර්තනයක් සිදුවෙනවා. ඒ සෑම අවස්ථාවකදීම විවිධ දේශපාලන මැදිහත්වීම් කරන්න මට අවස්ථාව ලැබුණා.
- ඔබේ පියා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල සාමාජිකයෙක්, එය විශේෂ තත්ත්වයක්. මේ පසුබිම තුළ දේශපාලනික පවුල් පරිසරය ඔබට කොහොමද දැනුණේ ?, විශේෂයෙන් කාන්තාවක් ලෙස,
මම ඉපදුණේ ඉතාම දුප්පත් පවුලක, අම්මා තාත්තා දෙදෙනාම වතුකම්කරුවන්. තාත්තා සමාජ අසාධාරණය වෙනුවෙන් ඍජුව පෙනී සිටි කෙනෙක්, ඒ වගේම තාත්තා විශාල ලෙස පොත්පත් කියවන කෙනෙක්. නිතරම ගෙදරට පොත්, පත්තර ගේනවා, සමාජය ගැන කරුණු කාරණා අපට පැහැදිලි කර දෙනවා. ඒ නිසා කුඩා කාලයේ සිටිම සමාජ අසාධාරණය, විශේෂයෙන් ආර්ථික අසාධාරණය සම්බන්ධයෙන් දැඩි හැඟීමක් මට තිබුණා. සමාජ අසාධාරණයක් සිදු වුණ අවස්ථාවක ඒක කොහොම හරි නිවැරදි කළ යුතුයි කියන අදහස මට තිබුණා. ඒ වගේම සමාජ අසාධාරණය, ආර්ථික හා දේශපාලන අසාධාරණය කුඩා කාලයේ සිටිම ප්‍රායෝගිකව අත්විඳීමට මට සහ මගේ අයියට අවස්ථාව ලැබුණා. ඒ නිසා මේ අසාධාරණ සමාජ, දේශපාලන හා ආර්ථික ක්‍රමය වෙනස් කළ යුතුයි කියන අදහස කුඩා කාලයේ සිටිම මට තිබුණා. ඒ වගේම දේශපාලන බලය අයුතු ලෙස භාවිතා කරන ආකාරය අපි ඇස් දෙකෙන් දැක්කා, ඒ නිසා මේ සමාජ ක්‍රමය, දේශපාලන හා ආර්ථික ක්‍රමය ජනතාවාදී ලෙස වෙනස් කළ යුතු බව අපි දැඩිව විශ්වාස කළා.

- නුවරඑළියේ කියන්නේ ලංකාවේ දේශපාලනයේ සුවිශේෂ දිස්ත්‍රික්කයක්. දේශපාලන බලය අවභාවිතා කිරීම, සමාජ හා ආර්ථික විෂමතාව උපරිම දිස්ත්‍රික්කයක්. මේක ඔබට දැනුණේ කොහොම ද ?
නුවරඑළියේ සාම්ප්‍රදායික බල දේශපාලනය අපට ලොකු අභියෝගයක් වුණා. නමුත් අපි ඒ අභියෝගයට සාර්ථක මුහුණ දුන්නා. ඒක මම තනිව කළ දෙයක් නොවෙයි, අපි කණ්ඩායමක් ලෙස මේ අභියෝගයට මුහුණ දුන්නා. ජනතා විමුක්ති පෙරමුණ වගේම ජාතික ජන බලවේගය කියන්නේ සාමූහික ප්‍රයත්නයක්. ඒ නිසා නුවරඑළියේ දේශපාලන ඉතිහාසය පමණක් නොවෙයි සිතියම පවා වෙනස් කරන්න ජාතික ජන බලවේගයට අවස්ථාව ලැබුණා. පසුගිය මහා මැතිවරණයේ දී ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තු මන්ත්‍රීධුර පහක් ලැබුණා. මේක ඓතිහාසික ජයග්‍රහණයක්. මේ ඓතිහාසික ජයග්‍රහණය වෙනුවෙන් අපිට සමස්ත සමාජයම බලමුළු ගැන්වීමට හැකියාව ලැබුණා. අපේ ජයග්‍රහණය මේ සියලු දෙනාගේම ජයග්‍රහණයක්.
- මේ ජයග්‍රහණයේ සුවිශේෂ ලක්ෂණ මොනවා ද ?
2024 මහ මැතිවරණයට අපි මුහුණ දෙන විට අනුර සහෝදරයා ජනාධිපති ධුරයට පත් වීම සමඟ ජනතාව තුළ විශාල ප්‍රබෝධයක් ඇති වුණා. ඒ ප්‍රබෝධය සහ පසුගිය ආණ්ඩු සම්බන්ධයෙන් ජනතාව තුළ තිබුණ අප්‍රසාදය අපේ ජයග්‍රහණයට විශාල දායකත්වයක් ලබා දුන්නා.
- ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරියක් ලෙස, විශේෂයෙන්ම නවක තරුණ මන්ත්‍රීවරියක් ලෙස ගෙවී ගිය කාලය සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක් ද ?
අපි පාර්ලිමේන්තුවට අලුත් වුණත් දේශපාලනය කියන්නේ උපතින්ම ලැබුණ දෙයක්, ඒ නිසා දේශපාලනය අලුත් දෙයක් නෙමෙයි. නමුත් පුද්ගලික ජීවිතය සම්බන්ධයෙන් ගත් විට අලුත්ම තත්ත්වයකට මුහුණ දීමට සිදු වුණා. දියණියන් තිදෙනා එක්ක ගත කළ කාලය, ඔවුන් සමඟ තිබුණ සමීප සම්බන්ධතාව කැප කිරීමට සිදු වුණා. නමුත් අපි පාර්ලිමේන්තුවට ගිය හැම දවසක්ම, ඒ තුළ ගත හැම මොහොතක්ම ඉතාම ඵලදායී ලෙස යොදා ගත්තා. අපි සහභාගී වන සෑම කාරක සභාවක්ම, කමිටුවක්ම ඉතාම ඵලදායී ලෙස, ජනතාවගේ, විශේෂයෙන් අපේ සහෝදරියන්ගේ දියුණුව, සංවර්ධනය වෙනුවෙන් යොදා ගත්තා. මම පමණක් නොවෙයි ජාතික ජන බලවේගය නියෝජනය කරමින් සහෝදරියන් 20 දෙනෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. විශේෂයෙන්ම නීතිඥ සහෝදරියෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. අපි සියලු දෙනාම එකාවන්ව අපට ලැබුණු ජනවරම වෙනුවෙන් කටයුතු කරනවා.
මම මෙහිදී තවත් වැදගත් කරුණක් කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ජනතාව අපට ඓතිහාසික ජයග්‍රහණයක් ලබා දුන්නේ විශාල බලාපොරොත්තුවක් එක්කයි. කඩා වැටුණු ආර්ථිකයක්, අරාජික රටක් අපට ලැබුණේ, නීතියේ ආධිපත්‍ය පිරිහුණු රටක් අපට ලැබුණේ. අල්ලස, දූෂණය සහ නාස්තිය ඉහවහා ගිය රටක් අපට ලැබුණේ, මත්ද්‍රව්‍ය වලින් විනාශ වෙමින් තිබුණ රටක් අපට ලැබුණේ. මේ සියල්ල ධනාත්මක ලෙස වෙනස් කරන්න, සමාජ, ආර්ථික හා දේශපාලන වෙනසක් කරන්නයි ජනතාව අපට බලය දුන්නේ. ඒ අනුව ගෙවී ගිය වසරක කෙටි කාලය තුළ අප සියලු දෙනාටම සතුටු විය හැකි වෙනසක් කරන්න අපට හැකියාව ලැබී තිබෙනවා. අපි මේක කළේ මැතිවරණ දෙකක් මෙහෙයවමින්. මැතිවරණ නීතිවලට අනුව කටයුතු කරමින්. මැතිවරණ නීති නිසා අයවැයෙන් වෙන්කර ගෙන තිබූ ප්‍රතිපාදන අනුව සංවර්ධන කටයුතු කළ නොහැකි තත්ත්වයක් ද තිබුණා.
මම හිතනවා පසුගිය අවුරුද්දේ අපට දීපු සෑම ශතයකට සාධාරණය ඉටු කළා කියලා. අපේ 159 දෙනාම තම තමන් නියෝජනය කරන ආසනවලට පමණක් නොවෙයි, දිස්ත්‍රික්කවලට පමණක් නොවෙයි සමස්ත රටටම කළ හැකි ඉහළම සේවය කළා කියලා මම කියනවා.
- මෙහි යම් කිසි සුවිශේෂත්වයක් තිබුණා ද ?
ඔව්, අපි කිසිම රාජ්‍ය නිලධාරියෙකුට කිසිම බලපෑමක් කළේ නැහැ. සෑම වියදමක්ම 100%ක් විනිවිධභාවයෙන් යුතුව කළා, උපරිම ඵලදායීතාවය ලබා ගත්තා. මේ කාලය තුළ කිසිම අල්ලසක්, දූෂණයක් සිදු වුණේ නැහැ. මේ කතාව කියන්නේ අපි පමණක් නොවෙයි, ජනතාව මේ කතාව කියනවා. ඉතිහාසයේ කිසිදාක සිදු නොවූ ආකාරයට දේශපාලනඥයා සහ මහ ජනතාව අතර ඉතාම සමීප සම්බන්ධතාවක් මේ වන විට තිබෙනවා. අලුත් දේශපාලන සංස්කෘතියක් මේ වන විට නිර්මාණය වී තිබෙනවා. ඒක ඉතාම ජනතාවාදී එකක්.
- ඒත් විපක්ෂයේ චෝදනාවල අඩුවක් නැහැ නේද ?
ඔව්, විපක්ෂය නොයෙකුත් විවේචන, අවලාද, අපහාස කරනවා. මාධ්‍ය වාර්තාකරණය සහ මාධ්‍යකරණයේ අභියෝවලට අපි මුහුණ දෙමින් සිටිනවා. ඒ වගේම සමස්ත ජනතාවම තවමත් නිවැරදි තැන හිටගෙන නැහැ. ඒ නිසා මාධ්‍ය භාවිතය තුළ පොඩි බලපෑමක් අපට තිබෙනවා. සාවද්‍ය තොරතුරු, බොරු තොරතුරු, විශේෂයෙන් විකෘති කළ තොරතුරු වල බලපෑම අපට යම් පමණකට තිබෙනවා. නමුත් ජනතාව අපට දුන් ජනවරම, ඔවුන් අප ගැන තිබූ විශ්වාසය ඉටු කළා, ආරක්ෂා කළා කියලා මම හිතනවා. ඒ වගේම ඇතැම් විට අපිට වචනයක් දෙයක් වැරදෙන්න ඇති. නමුත් අපි වැඩ වරද්ද ගත්තේ නැහැ කියලා මම අවධාරණයෙන් කියනවා.
- කාන්තාවන්ගේ, විශේෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කාන්තාවන්ගේ සහ ළමුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් මේ වන විට ආණ්ඩුව ගෙන තිබෙන පියවර මොනවාද ?
නුවරඑළිය දිස්ත්‍රික්කය කියන්නේ ලංකාවේ සමාජ, ආර්ථික විෂමතාව ඉහළම දිස්ත්‍රික්ක කිහිපය අතර ඉදිරියෙන්ම සිටින දිස්ත්‍රික්කයක්. නුවරඑළිය මේ තත්ත්වයට පත් වුණේ විශේෂ කාරණා ගණනාවක බලපෑම මතයි. ආර්ථික අර්බුදය, සමාජ විෂමතා මේකට ප්‍රධාන හේතුවක් වුණා. ඒ වගේම දුප්පත්කම හා බැඳුණු නූගත්කම මේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන ගැටලුවක්. දුප්පත්කම සහ නූගත්කම දෙකම මෙහි තිබෙනවා. අස්වැසුමට දෙන සල්ලි විදයම් කරලා මත්පැන් බොන තාත්තාලා ඉන්න සමාජයක් නුවරඑළියේ තිබෙනවා, දරුවන්ට පරිත්‍යාග ලෙස ලැබෙන සපත්තු දෙක විකුණලා ඒ සල්ලිවලින් මත්පැන් බොන සමාජයක් මෙහි තිබෙනවා. නුවඑඑළියේ කාන්තාවන් සහ දරුවන් මුහුණ දෙන බරපතළම අභියෝගය දුප්පත්කම සහ නූගත්කමයි. ඒ වගේම නුවරඑළියේ කාන්තාවන්ගෙන්, මවුවරුන්ගෙන් විශාල පිරිසක් විදේශ ගතවෙලා ඉන්නවා. මේ තත්ත්වය තුළ දරුවන් බරපතළ අනාරක්ෂිතභාවයකට ලක්ව තිබෙනවා. ඒ වගේම පාසල්, රෝහල් ඇතුළු යටිතල පහසුකම්වල දැඩි හිඟයක් අපේ දිස්ත්‍රික්කය තුළ තිබෙනවා. බොහෝ ගැහැනු දරුවෝ ළමා වියේදීම පාසල් අතහැර යනවා. විවාහා වෙනවා. බාලවස්කාර විවාහයන් මෙහි සුලභ තත්ත්වයක්. ඒ වගේම මන්දපෝෂණය ඉහළම අගයක තිබෙනවා. නුවරඑළිය කියන්නේ සමාජ – ආර්ථික ගැටලුවල, අනාරක්ෂිතභාවයේ කේන්ද්‍රස්ථානයක්. මේ අභියෝගය ජය ගැනීමට අපි අපේ ප්‍රමුඛ අවධානය, සම්පූර්ණ අවධානය යොමු කරලා තිබෙනවා.
- වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ඔබගේ අදහස කුමක් ද ?
දුප්පත්කම සහ නූගත්කම පරාජය කිරීමට වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විශාල දායකත්වයක් ලබා දෙයි කියලා මම හිතනවා. නමුත් මේ ප්‍රතිසංස්කරණ හරහා එක රැයකින් ප්‍රතිඵල ලබා ගන්න නොහැකි වෙයි. නමුත් අවුරුදු දහයක් පමණ ගත වන විට එහි සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා.
- ජාතික ජන බලවේගයේ වර්ණවත්ම සටන් පාඨයක් වුණ ‘කාන්තා අපි එක මිටට’ කියන ප්‍රතිපත්තිය මේ වන විටත් ක්‍රියාත්මක වෙනවාද ?
ඔව්, මේ පාඨය පසුගිය මැතිවරණවලදී විශාල බලපෑමක් කළා. වටිනාකමක් ලබා දුන්නා. ඒ වගේම ජයග්‍රාහී සටන් පාඨයක් වුණා. හිටපු ජනාධිපතිනිය පවා මේ බව පිළිගෙන තිබුණා. නමුත් මැතිවරණයකදී පවතින උණුසුම, උනන්දුව ඊට පසුවත් දිගටම පවතී කියලා කියන්න අමාරුයි. වර්තමාන තත්ත්වයන් මත අපි බලමුළු ගන්වන ලද බලවේග ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යාම අසීරු වුණා. නමුත් අපි කාන්තාවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් රාශියක් ආරම්භ කර තිබෙනවා. ‘ප්‍රජා ශක්ති’ කමිටුව ඒ අතර ප්‍රධාන එකක් ලෙස සැලකිය හැකියි. මේ කමිටු තුළ නිශ්චිත කාන්තා නියෝජනයක් තහවුරු කර තිබෙනවා. ඒ අනුව දැනටමත් ලියාපදිංචි කාන්තා සංවිධානවල සභාපතිනියන් සහ ක්‍රියාකාරී සාමාජිකාවන් ප්‍රජා ශක්ති කමිටුවලට එක්කර ගැනීම සිදු වෙනවා. ඊට අමතර සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවකම ‘කාන්තා හා ළමා අනුකමිටුවක්’ පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ ඒ දිස්ත්‍රික්ක නියෝජනය කරන මන්ත්‍රීවරියන් මේ අනු කමිටුවල සභාපතිනිය ලෙස කටයුතු කරනවා.
සටහන – භාතිය බරුකන්ද
උපුටා ගැනීම – රතුඉර පුවත්පත – 2025 නොවැම්බර් 02







