ලංකාවට නොමිලේ සූර්ය ගම්මාන ගේන බ්‍රිතාන්‍ය සමාගම වසරක් සපුරයි

මේ ඉරිදා ඔක්ස්ෆර්ඩ් නුවර විශේෂ පා ගමනක්

ශ්‍රී ලංකාවේ දුෂ්කර, දිළිඳු ගම්වාසීන්ට නොමිලේ සූර්ය ගම්මාන ඉදි කර දී රටේ තිරසර සංවර්ධනයට සක්‍රියව දායක වීමේ අරමුණින් ගිය වසරේ නොවැම්බර් මාසයේ බ්‍රිතාන්‍යයේ ආරම්භ කරන ලද Solar Village SDG සංවිධානය සිය වර්ෂ පූර්ණය වෙනුවෙන් ලබන ඉරිදා (නොවැම්බර් 02) ඔක්ස්ෆර්ඩ් නගරයේ විශේෂ පාගමනක් සංවිධානය කර තිබේ.
දශක හතරකට අධික කාලයක් සූර්ය බලශක්තිය පිළිබඳ පවත්වා හසල අත්දැකීම් සහිත, ජාත්‍යන්තර අවධානය දිනාගත් පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ විද්‍යාඥයෙකු වන මහාචාර්ය අයි එම් ධර්මදාස (Prof IM Dharmadasa) සභාපතිත්වය දරන එම සංවිධානය මෙම පා ගමන පවත්වන්නේ දිළිඳුකම තුරන් කොට, ශ්‍රී ලංකාවාසීන්ට දෙපයින් නැගී සිටීම සඳහා මූලික පදනමක් සකස් කරදීමේ ව්‍යාපාරය වෙනුවෙන් අරමුදල් රැස් කිරීම පිණිසය.
දිළිඳු ජනතාවට දිගින් දිගටම සහනාධාර ලබාදෙනු වෙනුවට සූර්ය ගම්මාන ව්‍යාපෘතිය මාර්ගයෙන් ගමට ලැබෙන ආදායමෙන් සිය ගම දියුණු කරගැනීම සඳහා ගම්වාසීන්ට දිරි දීම සූර්ය ගම්මාන ව්‍යාපෘතියේ විශේෂත්වයයි. මහාචාර්ය ධර්මදාස මීට දශකයකට පමණ ඉහතදී දානපතියන්ගේ ආධාරයෙන් සිය මුල්ම සූර්ය ගම්මානය ඉදි කර තිබෙන්නේ ඔහු මුලින්ම අධ්‍යාපනය ලැබූ ප්‍රාථමික විද්‍යාලය වසා දැමීමෙන් බේරා ගැනීම සඳහාය. ඉන් අනතුරුව ගෙවී ගිය වසර කිහිපය තුළ තවත් සූර්ය ගම්මාන හතරක් නිර්මාණය කළ ඔහු, Solar Village SDG සංවිධානය සමග එක්ව සිය ව්‍යායාමය කඩිනම් කරමින් වසරක් ඇතුළත එය සූර්ය ගම්මාන 10ක් ඉදිකිරීම දක්වා ව්‍යාප්ත කිරීමට සැලසුම් කරමින් සිටී.
ඔක්ස්ෆර්ඩ් නුවර පාගමන වෙනුවෙන් අරමුදල රැස් කිරීම දැනටමත් ආරම්භ කොට ඇති අතර, enthuse අඩවියේ අපේ පේජයට ගොස් (ලින්කුව කොමෙන්ටුවේ) ඒ සඳහා දායක වන මෙන් සංවිධායක මණ්ඩලය ඔබ සැමට ආරාධනා කරති.
ඔක්ස්ෆර්ඩ් නුවර වෙසෙන සංක්‍රමණික කටයුතු පිළිබඳ ශ්‍රී ලාංකික නීතිවේදිනියක වන නිල්මිණි රෝලන්ස් එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කරන අතර, සරෝජ් පතිරණ මාධ්‍ය කටයුතු සම්බන්ධ අධ්‍යක්ෂවරයාය. බ්‍රිතාන්‍යයේ සහ වෙනත් රටවල වෙසෙන ශිෂ්‍ය, ශිෂ්‍යාවන්, කලාකරුවන් ව්‍යාපාරික කාන්තාවන් ඇතුළු තවත් ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ස්වේච්ඡා පදනම මත Solar Village SDG සංවිධානයට එක්ව සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website