ශ්රී ලංකා රජය, ලෝක බැංකු සමූහය (World Bank Group) සහ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්යන්තර අරමුදල (IFAD) සමඟ එක්ව, දිවයිනේ කෘෂිකාර්මික ආහාර ක්ෂේත්රය පරිවර්තනය කිරීම, රැකියා උත්පාදනය කිරීම සහ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමේ ඒකාබද්ධ ප්රයත්නයක් ලෙස “ශ්රී ලංකා AgriConnect ඒකාබද්ධ ක්රියාත්මක කිරීමේ සැලසුම” පසුගිය (30) නිල වශයෙන් ආරම්භ කරන ලදී.
මෙම අවස්තාවට අග්රමාත්ය හරිනි අමරසූරිය මෙනෙවිය, කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල් කාන්ත මහතා, වැවිලි, ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න මහතා ඇතුළු ලෝක බැංකු සහ රාජ්ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.
රජයේ ජාතික සංවර්ධන න්යාය පත්රය සහ 2026–2030 රාජ්ය ආයෝජන වැඩසටහන මෙන්ම, ලෝක බැංකු සමූහයේ රටවල් හවුල්කාරිත්ව රාමුව (Country Partnership Framework) සමඟ සමගාමීව, මෙම සැලසුම මගින් ශ්රී ලංකා රජය, ලෝක බැංකු සමූහය, IFAD, සංවර්ධන හවුල්කරුවන්, මූල්ය ආයතන, කෘෂි ව්යාපාර සහ ගොවීන් එක් තැනකට ගෙන එනු ලබන්නේ වඩාත් ඵලදායී, දේශගුණයට ඔරොත්තු දෙන සහ වෙළෙඳපොළ අරමුණු කරගත් ආහාර ක්ෂේත්රයක් සඳහා වන පොදු දැක්මක් වටා ය.
මෙම වැඩසටහන මගින් 2030 වන විට ගොවීන් 900,000 කට කෘෂිකාර්මික වටිනාකම් දාමයන් සඳහා වඩා හොඳ ප්රවේශයක් ලබා ගැනීමට උපකාරී වනු ඇත. මේ සඳහා ලෝක බැංකු සමූහයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 550 ක ආයෝජන සහ IFAD වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 115 ක් අනුග්රහය දක්වන අතර, ඉදිරි වසර පහ තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 170 ක් දක්වා පෞද්ගලික ප්රාග්ධනය රැස් කිරීමට ද උපකාරී වේ. කෘෂිකර්මාන්තය සහ ආහාර සැකසුම් ක්ෂේත්රය ශ්රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) අවම වශයෙන් 15% ක්, භාණ්ඩ අපනයනයෙන් 30% ක් සහ රැකියාවලින් තුනෙන් එකකට හිමිකම් කියයි
















