පාකිස්ථානය හමුවේ කඩුළු තුනක පරාජයක් – තුන්කොන් තරගාවලියේ ජයග්‍රහණය පාකිස්ථානයට

කමිඳු මෙන්ඩිස්ගේ මංගල එක්දින ශතකයත්, පවන් රත්නායකගේ තවත් සාර්ථක ඉනිමත් සමඟ ලාහෝර්හිදී ලකුණු 325ක් රැස් කළ ශ්‍රී ලංකාවට, තුන්කොන් එක්දින තරගාවලියේ අවසන් මහා තරගයේදී පාකිස්තානය හමුවේ කඩුලු 3ක පරාජයක් අත්විඳීමට ඊයේ (31) රාත්‍රියේදී සිදු විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව, කමිඳු මෙන්ඩිස්ගේ ලකුණු 131ත් පවන් රත්නායකගේ ලකුණු 77ත් මත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 325ක් රැස් කළේය. එහෙත් පිළිතුරු ඉනිමේදී ෆකාර් සමාන්ගේ ශතකයත් අරෆාත් මින්හාස්ගේ වේගවත් ලකුණු 61ත් හමුවේ පාකිස්තානය පන්දුවාර 48.3කදී කඩුලු 7ක් දැවී ලකුණු 331ක් ලබා තරගයේ ජය වාර්තා කළේය.

ශ්‍රී ලංකා ඉනිමේ ප්‍රධානතම ශක්තිය වූයේ කමිඳු සහ පවන් අතර ගොඩනැඟුණු තෙවැනි කඩුල්ලේ ලකුණු 146ක සබඳතාවයයි. පළමු කඩුල්ල වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු සමඟ ලකුණු 87ක සබඳතාවක් ගොඩනැඟූ කමිඳු, පසුව පවන් සමඟ එක්ව ඉනිම තවත් ශක්තිමත් කළේය.

කමිඳු සිය මංගල එක්දින ශතකය වාර්තා කරමින් පන්දු 128කදී ලකුණු 131ක් රැස් කළේය. ඔහුගේ ඉනිම ශ්‍රී ලංකාවට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට මඟ විවර කළේය. පවන් රත්නායක පන්දු 65කදී ලකුණු 77ක් ලබා ගනිමින් නැවතත් සිය පිතිකරණයේ දක්ෂතා ප්‍රදර්ශනය කළේය.

පවන්ගේ ඉනිමත් සමඟ ශ්‍රී ලංකාව පන්දුවාර 41ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 255ක් ලබා සිටියේ ලකුණු 350කට ආසන්න ඉලක්කයක් කරා යාමේ අවස්ථාවක්ද සමඟිනි. එහෙත් පාකිස්තාන වේගපන්දු යවන්නන් අවසන් පන්දුවාර කිහිපයේදී තරගයට නැවතත් පිවිසීමත් සමඟ ශ්‍රී ලංකා මැදපෙළ කඩා වැටුණි.

ශහීන් අෆ්රිඩි කමිඳු මෙන්ඩිස් දවා ගැනීමෙන් පසු ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු කිහිපය ඉක්මනින් බිඳ වැටුණි. හරීස් රවුෆ් සහ නසීම් ෂා ද එම අවස්ථාවේදී කඩුලු ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ ලකුණු වේගය පාලනය කළහ. අවසන් පන්දුවාර 9 තුළදී ශ්‍රී ලංකාවට කඩුලු 6ක් අහිමි වූ අතර, එම කාලය තුළ රැස් කළේ ලකුණු 70ක් පමණි.

පවන් රත්නායක ලකුණු 77කට දැවී යාම ශ්‍රී ලංකා ඉනිමේ තවත් තීරණාත්මක අවස්ථාවක් විය. තරගාවලිය පුරාම විශිෂ්ට දක්ෂතා දැක්වූ පවන්, තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ඉනිම් කිහිපයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය.

ලකුණු 326ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානයට ආරම්භයේදී ශ්‍රී ලංකාවෙන් දැඩි අභියෝගයක් එල්ල විය. දිල්ෂාන් මදුෂංක නව පන්දුවෙන් මසාද් සදාකත් සහ බාබර් අසාම් දවා ගනිමින් පාකිස්තානය ලකුණු 14කට කඩුලු 2ක් බවට පත් කළේය.

එහෙත් ෆකාර් සමාන් සහ සාද් බෙයිග් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 149ක සබඳතාවක් ගොඩනඟමින් පාකිස්තානය නැවතත් තරගයට ගෙන ආහ. සාද් බෙයිග් පන්දු 75කදී ලකුණු 74ක් රැස් කළ අතර, ෆකාර් සමාන් පන්දු 99කදී ලකුණු 127ක් ලබා ගනිමින් පාකිස්තානයේ ජයග්‍රහණයට පදනම දැමීය.

ෆකාර්ගේ ශතකය ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට විශාල අභියෝගයක් වූ අතර, ඔහු දැවී යන විට පාකිස්තානයට තවත් ලකුණු 106ක් අවශ්‍යව තිබුණි. එහෙත් අවසන් පන්දුවාරවලදී අරෆාත් මින්හාස් සහ හසන් නවාස් එක්ව ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු බිඳ දැමූහ.

මින්හාස් පන්දු 31කදී ලකුණු 61ක් රැස් කළේ හතරේ පහර සහ හයේ පහරවලින් පාකිස්තාන ඉනිම වේගවත් කරමිනි. හසන් නවාස් සමඟ හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 94ක සබඳතාවක් ගොඩනැඟූ ඔහු පාකිස්තානය ජයග්‍රහණයට ඉතා ආසන්නයට ගෙන ගියේය.

source: srilankacricket.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website