2026 වර්ෂයේ ආදායම් ඉලක්කය අභිබවූ රේගුවේ නිලධාරීන් ඇගයීමට ලක් කෙරේ

ශ්‍රී ලංකා රේගුව සඳහා 2026 වර්ෂය සඳහා ලබාදුන් රුපියල් බිලියන 2207ක ආදායම් ඉලක්කය අභිබවා යමින් පසුගිය ඔක්තෝබර් 13 වනදා ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 2208ක ආදායමක් රැස්කිරීමට සමත්විය. ඒ වෙනුවෙන් දායක වූ සියලු රේගු නිලධාරීන් ඇගයීමේ උත්සවයක් ඊයේ (22) දින රේගු දෙපාර්තමේන්තුවේදී පවත්වන ලද්දේ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙනි.

රජයේ ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකා රේගුව ප්‍රධානම පාර්ශ්වකරුවකු වන අතර  රටේ ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා රාජ්‍ය ආදායම් ඉලක්ක සපුරා ගැනීමට සුවිශේෂී වැදගත්කමක් දරයි. එබැවින් නියමිත වාර්ෂික ආදායම් ඉලක්කය නියමිත කාලයට පෙර අභිබවා යාමට හැකිවීම දෙපාර්තමේන්තුවේ කාර්යසාධනය පිළිබඳ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිවේ.

2025 වර්ෂයේදීද රේගුව වාර්ෂික ආදායම් ඉලක්කය 2025 වසරේ නොවැම්බර් මස 11 වන දින සම්පූර්ණ කිරීමට සමත් විය. මෙවර විශේෂත්වය වන්නේ 2025 වසරේ ආදායම් ඉලක්කයට වඩා වැඩි ආදායම් ඉලක්කයක්, 2025 වසරටත් වඩා කෙටි කාලයකින් සම්පූර්ණ කිරීමට හැකි වීමයි.

උත්සව සභාව අමතමින් භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සිට රටේ විවිධ ස්ථාන වල සිට රාජකාරී ඉටුකරන රේගු නිලධාරීන්ව විශේෂ ඇගයීමකට ලක්කරන ලදී.

භාණ්ඩාගාර ලේකම්තුමා මෙහිදී විශේෂයෙන් රේගු නිලධාරීන් අමතා සඳහන් කළේ, රේගු නිලධාරීන් වන ඔබ විසින් රැස්කරන මෙම ආදායම් ජනතාවගේම අභිවෘද්ධිය සඳහා යෙදවෙන බවයි. පුරවැසියන් වෙනුවෙන් යටිතල පහසුකම් ඉදිකිරීමට, රටේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට, ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට, රටේ අනාගත අවශ්‍යතා වෙනුවෙන් ආයෝජනය කිරීමට සහ හදිසි අවශ්‍යතා වෙනුවෙන් ජනතාවට සහන ලබාදීමට මෙසේ කාර්යක්ෂමව රැස්කරන ආදායම් යෙදවෙන බවත් වැඩිදුරටත් සඳහන් කරන ලදී. විශේෂයෙන්ම පසුගිය වසර අවසානයේ ඇතිවූ දිට්වා ආපදාවට මුහුණදීම සඳහා රුපියල් බිලියන 500ක් වෙන් කිරීම සහ මැදපෙරදිග යුද තත්ත්වය නිසා ඉහළ ගිය ඉන්ධන මිලට සහන ලබාදීම සඳහා මුදල් වෙන් කිරීමට හැකි වූයේද ඔබ මෙසේ රැස්කළ මුදල් නිසා බව ඒ මහතා තවදුරටත් අදහස් දක්වමින් සඳහන් කරන ලදී.

එපමණක් නොව ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම් වල ඉහළට ඔසවා තැබීමට ජාත්‍යන්තර ආයතන ක්‍රියාකරන්නේ රටේ ආර්ථිකයේ ස්ථාවරත්වය සැලකිල්ලට ගනිමින් බවත් ඒ සඳහා රජයට ආදායම් රැස්කරන ආයතන කාර්යක්ෂමව තම කාර්යය ඉටුකර තිබීමද වැදගත් සාධකයක් බවත් සූරියප්පෙරුම මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ශ්‍රී ලංකා රේගුව ලෙස ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව කටයුතු කරන කාර්යක්ෂම ආයතනයක් බවට පරිවර්තනය කර ගැනීමේ වැදගත්කමද භාණ්ඩාගාර ලේකම්තුමා මෙහිදී පෙන්වා දෙන ලදී. විශේෂයෙන්ම නවීන තාක්ෂණය යොදාගනිමින් රේගු කටයුතු වඩා කාර්යක්ෂම කිරීම හරහා ආදායම් රැස් කිරීමේ කටයුත්ත තවදුරටත් සාර්ථක කරගැනීමත්, රේගුව විසින් රැස්කරන තොරතුරු අනෙකුත් අදාළ අංශ සමග හුවමාරු කරගනිමින් වංචනික ක්‍රියා සඳහා වැට බැඳීමත් ඉතා වැදගත් බව සඳහන් කරන ලදී. බාධක පැමිණි නමුත් මේ වනවිට කඩදාසි රහිත රේගු ප්‍රකාශන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීමටත් රේගුව සමත්ව ඇති බවත් ඒ මහතා පෙන්වා දෙන ලදී.

අවසාන වශයෙන් රේගුවට ආදායම තවත් ඉහළ දමා ගැනීමට හැකියාව තිබෙන බවත්, නීති පද්ධතිය සහ පාලන ව්‍යුහය තවදුරටත් සංවර්ධනය කරගැනීම හරහා රටේ ජනතාව, ව්‍යාපාරිකයන් හා වෙළඳ සංගම් ශ්‍රී ලංකා රේගුව ගැන දක්වන ආකල්පය ධනාත්මක ලෙස වර්ධනය කරගැනීමට හැකියාව තිබෙන බවත් සඳහන් කරමින් රේගුවේ මේ දක්වා ගමන්මග සාර්ථක කරගැනීමට දායක වූ සියලු නිලධාරීන්ට ස්තූතිය පළ කළේය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විමල් ලියනගම මහතා සඳහන් කළේ මෙම ආදායම් ඉලක්කය සම්පූර්ණ කිරීම ඉලක්කමක් පමණක් නොව දැඩි කැපවීමෙන් කටයුතු කළ වෘත්තීමය නිපුණතාවයෙන් හෙබි නිලධාරීන් පිරිසක් විසින් අත්පත් කරගත් ප්‍රතිඵලයක් බවයි. මුදල් විෂයභාර අමාත්‍යවරයා වශයෙන් ගරු ජනාධිපතිතුමා ලබාදෙන නායකත්වය සහ මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙපළ ලබාදෙන සහාය පිළිබඳවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය ප්‍රසාදය පළ කරන ලදී. එසේම නිරත්තරයෙන් රේගුවේ කටයුතු පිළිබඳව සොයාබලමින් මග පෙන්වීම් සිදුකරන භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට විශේෂ ස්තූතියක්ද පළ කරන ලදී.

ශ්‍රී ලංකා රේගුව 2026 වසරේ සෑම මසකම ආදායම් ඉලක්කය අභිබවා ආදායම් රැස් කිරීමට සමත් වූ අතර ඔක්තෝබර් 21 වන දිනට රැස්කර ඇති සමස්ත ආදායම රුපියල් බිලියන 2286ක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website