කල්බදු සහ ලීසිං වාරික ගෙවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අදාළ සමාගම්වලින් වාහන අත්පත් කරගැනීමෙන් අගතියට පත් පිරිසක් පසුගිය දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී තමන් මුහුණ දී සිටින ගැටලුවලට විසඳුමක් ලබා දෙන ලෙස රජයට බලපෑම් කරන මෙන් ඉල්ලා සිටියේය.
මේ පිරිස හමුවේ විපක්ෂ නායකවරයා පැවසුවේ, වත්මන් රජයේ මන්ත්‍රීවරුන් පසුගිය මැතිවරණ වේදිකාවල කාර් රථයක් අත්පත් කර ගැනීමේ ජනතාවගේ සිහිනය යථාර්ථයක් බවට පත් කරමින් රුපියල් ලක්ෂ 12ට විට්ස් කාර් රථයක් ලබා දෙන බවට විවිධ පොරොන්දු ලබා දුන් නමුත් මැතිවරණයේ පසු ඒ සියල්ල අමතක කර ඇති බවයි.
රටේ සාතිශය බහුතර ජනතාව ලීසිං හෝ එවැනි ණය ලබා ගෙන වාහනයක් හෝ දේපළක් අත්කර ගනු ලැබුවත් ආර්ථික අපහසුතා නිසා වාරිකයක් හෝ දෙකක් ගෙවා ගැනීමට නොහැකි වීම නිසා එම වාහන අනීතික ලෙස සීසර්වරුන් විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමේ සිදුවීම් වාර්තා වන බව ද විපක්ෂ නායකවරයා පැවසුවේය.
මෙය නීතිවිරෝධී ක්‍රියාවක් වුවත් වර්තමානයේ එවැනි අත්පත්කර ගැනීම් සිදුවන බව කී විපක්ෂ නායකවරයා මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී ආණ්ඩුවේ අවධානය යොමු කරන බව මෙම පිරිසට කීවේය.















