නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙන් වැටලීම්

නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් සම්බන්ධයෙන් විශේෂ වැටලීම් වලින් බෝතල් 801ක් නඩු භාණ්ඩ ලෙස සිය භාරයට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පිටකොටුව ප්‍රදේශයේ නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් (Reusable Plastic Bottles) අලෙවි කරන වෙළෙඳසැල් ඉලක්ක කර විශේෂ වැටලීම් හා විමර්ශන සිදු කරන ලදී.

මෙම වැටලීම්වලදී අදාළ වෙළෙඳ ආයතනවල තිබූ නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් 801ක් නඩු භාණ්ඩ ලෙස නිලධාරීන් භාරයට ගෙන ඇත. ඉදිරි විමර්ශන අවසන් කිරීමෙන් අනතුරුව අදාළ වෙළෙඳ ආයතනවලට එරෙහිව අදාළ මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කරනු ඇත.

නීතිමය හා ප්‍රමිති අවශ්‍යතාව කුමක්ද? පානීය ද්‍රව රැගෙන යාම සඳහා භාවිත කරන නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් සඳහා SLS 1616 ප්‍රමිතිය අදාළ වේ. ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අදාළ බෝතල් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් නිකුත් කරන SLS නිෂ්පාදන සහතික ලාංඡනය (SLS Product Certification Mark) සහිත විය යුතුය. ආනයනික බෝතල් සඳහා SLS ලාංඡනය තිබීමම අනිවාර්ය අවශ්‍යතාව නොවන අතර, ඒවා SLSI Import Inspection Scheme යටතේ පරීක්ෂා කර අලෙවිය සඳහා අනුමත කර තිබීම අවශ්‍ය වේ.

වෙළෙඳුන්ගේ අවධානයට: මෙවැනි බෝතල් මිලදී ගැනීමට හෝ අලෙවියට තැබීමට පෙර අදාළ නීතිමය හා ප්‍රමිති අවශ්‍යතා සපුරා ඇති බව තහවුරු කරගන්න. භාණ්ඩ මිලදී ගැනීම හා සැපයීම සම්බන්ධ බිල්පත්/ඉන්වොයිස් සහ සැපයුම්කරුගේ තොරතුරු නිසි ලෙස තබාගන්න. එම තොරතුරු භාණ්ඩයේ මූලාශ්‍රය සහ සැපයුම් දාමය තහවුරු කිරීම සඳහා වැදගත් වේ.

පාරිභෝගික ඔබේ අවධානයට: නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතලයක් මිලදී ගැනීමේදී එය ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත එකක් නම් SLS නිෂ්පාදන සහතික ලාංඡනය තිබේදැයි පරීක්ෂා කරන්න. ආනයනික නිෂ්පාදනයක් නම් අදාළ අනුමැතිය පිළිබඳ තොරතුරු වෙළෙඳුන්ගෙන් විමසන්න. සෑම විටම මිලදී ගැනීමේ බිල්පත හෝ රිසිට්පත ලබාගෙන සුරක්ෂිතව තබාගන්න.

නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් අලෙවි කිරීමේදී අදාළ නීතිමය හා ප්‍රමිති අවශ්‍යතා පිළිපැදීම වෙළෙඳුන්ගේ වගකීමක් වන අතර, මෙවැනි පරීක්ෂා කිරීම් සහ වැටලීම් දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website