2026 අගෝස්තු මාසයේ දී ඉදිකිරීම් කටයුතුවල ඉහළ යෑමක් – ශ්‍රී ලංකා මහ බැංකුව

පසුගිය අගෝස්තු මාසයට සාපේක්ෂව අඩු වේගයකින් වුව ද ඉදිකිරීම් කටයුතුවල අඛණ්ඩ වර්ධනයක් පිළිබිඹු කරමින්, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2026 අගෝස්තු මාසයේ දී දර්ශකාංක 59.4ක අගයක් වාර්තා කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (30) නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

පවතින බිටුමන් (තාර) හිඟය හේතුවෙන් මාර්ග ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය අඩාල වී ඇති බවත්, එමගින් සමස්ත ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනය සීමා වී ඇති බවත් සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් සඳහන් කළහ.

ප්‍රධාන වශයෙන් රජය විසින් අරමුදල් සපයන ව්‍යාපෘති ඉහළ යෑම හේතුවෙන් නව ඇණවුම් දර්ශකය අගෝස්තු මාසයේ දී තවදුරටත් වර්ධනය විය. මේ අතර, සේවා නියුක්ති සහ තොග මිලදී ගැනීම් දර්ශක ද මෙම මාසය තුළ දී තවදුරටත් වර්ධනය විය. සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙකු විසින් ක්ෂේත්‍රයේ වර්ධනයට ඇති ප්‍රධාන බාධාවන් ලෙස අඛණ්ඩව පවතින පුහුණු ශ්‍රම හිඟය සහ අමුද්‍රව්‍ය හිඟය සඳහන් කරන ලදී. සැපයුම්කරුවන්ගේ කාර්යබහුලතාව පිළිබිඹු කරමින්, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය අගෝස්තු මාසයේ දී ද ඉහළ මට්ටමක පැවතුණි.

බිටුමන්(තාර) හිඟය සහ අමුද්‍රව්‍ය මිල උච්චාවචනයන් තවදුරටත් අභියෝග ඇති කළ ද, අලුතින් ප්‍රදානය කරන ලද ව්‍යාපෘති මගින් ලැබෙන සහාය හේතුවෙන් ඉදිරි මාස තුන සඳහා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අපේක්ෂා ධනාත්මක මට්ටමක පැවතුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website