ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රථම විදේශ සංචිත කළමනාකරණ සමුළුව කොළඹ දී

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවිධානය කරන ලද සිය ප්‍රථම විදේශ සංචිත කළමනාකරණ සමුළුව 2026 සැප්තැම්බර් 10 සහ 11 යන දෙදින තුළ දී කොළඹ කිංස්බරි හෝටලයේ දී පැවැත්විණි.

ප්‍රමුඛ පෙළේ මහ බැංකු නියෝජිතයින්, ස්වෛරිීත්ව වත්කම් කළමනාකරුවන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, ආර්ථික විද්‍යාඥයින් සහ ආයෝජන ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත් වූ මෙම සමුළුවේ දී නිල විදේශ සංචිත කළමනාකරණය සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් මුහුණ දීමට සිදුවන අභියෝග සහ අවස්ථා පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කෙරිණි.

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (Asia Infrastructure Investment Bank), ආසියානු සංවර්ධන බැංකුව (Asian Development Bank),  ප්‍රංශ මහ බැංකුව (Banque De France), අන්තර්ජාතික පියවීම් බැංකුව (Bank for International Settlements), ඉන්දුනීසියානු මහ බැංකුව (Bank Indonesia),  මැලේසියානු මහ බැංකුව (Bank Negara Malaysia), කොරියානු මහ බැංකුව (Bank of Korea), තායිලන්ත මහ බැංකුව (Bank of Thailand), අන්තර්-ඇමරිකානු සංවර්ධන බැංකුව (Inter-American Development Bank), ඉන්දියානු සංචිත බැංකුව (Reserve Bank of India), ස්විට්සර්ලන්ත ජාතික බැංකුව (Swiss National Bank), ලෝක බැංකුව (World Bank) සහ ලෝක රන් කවුන්සිලය (World Gold Council) ඇතුළු ආයතන නියෝජනය කරමින් 50දෙනෙක් පමණ සමුළුව සඳහා සහභාගී වූහ.

මෙම සමුළුවේ දී සංචිත කළමනාකරණය කෙරෙහි බලපෑ හැකි ගැටලු පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡාවට ලක් විය. විදේශ සංචිත ස්වාරක්ෂක ගොඩනැගීම සහ ශක්තිමත් කිරීම සඳහා වන උපායමාර්ග, භූ දේශපාලනික බෙදීම් ආසියාවට සහ ගෝලීය ආර්ථිකයට ඇති කරන බලපෑම්, නිල සංචිත තුළ ඩිජිටල් සහ ටෝකනීකරණය (tokenised) කළ වත්කම්වලට ඉටු කළ හැකි කාර්යභාරය, මුදල් ඒකකවල බලපෑම සහ ජාත්‍යන්තර සංචිත කළඹ තුළ එ.ජ.ඩොලරයේ අඛණ්ඩ ආධිපත්‍යය මෙන්ම රන් සහ අනෙකුත් විකල්ප වත්කම්වල කාර්යභාරය මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ ප්‍රධාන කරුණු විය.

තව ද, ආයෝජන තීරණ ගැනීම, වෙළෙඳපොළ තොරතුරු විශ්ලේෂණය, ආයෝජන කළඹ ප්‍රශස්තකරණය සහ අවදානම් කළමනාකරණය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා තාක්ෂණික නවෝත්පාදන සහ කෘත්‍රිම බුද්ධිය සංචිත කළමනාකරණයට යොදාගත හැකි ආකාරය පිළිබඳව ද විමර්ශනයට ලක් කෙරිණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් “භූ දේශපාලනික අවිනිශ්චිතතා මධ්‍යයේ විදේශ සංචිත ගොඩනැගීමේ අභියෝග” යන මැයෙන් ප්‍රධාන දේශනය පවත්වන ලදී. විදේශ සංචිත ගොඩනැගීම පුළුල් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවෙන් වෙන්කර සැලකිය නොහැකි බව අධිපතිතුමා සිය දේශනයේ දී අවධාරණය කළේ ය. තිරසාර ලෙස විදේශ සංචිත ගොඩනැගීම සඳහා විදේශීය අංශයේ ශක්තිමත් මූලධර්ම මෙන්ම විදේශ විනිමය උපයා ගැනීමට සහ රඳවා ගැනීමට හැකියාව ඇති ආර්ථිකයක් අත්‍යවශ්‍ය බව ද අධිපතිතුමා පෙන්වා දුන්නේ ය. 2022 වසරේ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයේ අත්දැකීම් උදාහරණයට ගනිමින්, බාහිර කම්පනවලට එරෙහි පළමු ආරක්ෂක පියවරක් ලෙස ජාත්‍යන්තර සංචිතවල තීරණාත්මක කාර්යභාරය අධිපතිතුමා විසින් අවධාරණය කරන ලදී.

දැඩි අවදානම් සහගත තත්ත්වයන් පවතින කාලවල දී එවැනි සංචිත මගින් රටවලට අවශ්‍ය ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා සැලකියයුතු කාලයක් සහ ප්‍රතිපත්තිමය අවකාශයක් සලසා දෙන බව ද පෙන්වා දුන් අධිපතිතුමා, භූ දේශපාලනික වෙනස්වීම් සංචිත කළමනාකරුවන් විසින් සැලකිල්ලට ගත යුතු වඩාත් වැදගත් සාධකයක් බවට පත්ව ඇති බව ද සඳහන් කළේ ය. භූ දේශපාලනික බෙදීම්, සම්බාධක, වෙළෙඳ ආතතීන් සහ ගෝලීය මූල්‍ය වෙළෙඳපොළවල ඇතිවන බාධා, ආයෝජන, ද්‍රවශීලතා සහ ආයෝජන කළඹ කළමනාකරණය සම්බන්ධ තීරණ කෙරෙහි බලපෑම් ඇති කරන බව ද මහ බැංකු අධිපතිතුමා තවදුරටත් පෙන්වා දුන්නේ ය.

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ භාණ්ඩාගාරික ඩොමෙනිකෝ නාර්ඩෙලි මහතා විසින් විශේෂ ආරාධිත දේශනය පවත්වන ලද අතර, එහිදී වෙනස් වෙමින් පවතින ජාත්‍යන්තර මූල්‍ය පරිසරය සහ එමගින් සංචිත හා වත්කම් කළමනාකරණයට ඇතිවන බලපෑම් පිළිබඳ සිය අදහස් ඉදිරිපත් කළේ ය.

දෙදින සමුළුව පුරා පැවති විශේෂඥ ඉදිරිපත් කිරීම් සහ විද්වත් මණ්ඩල සාකච්ඡා මාලාව මගින් සංචිත කළමනාකරණ ක්ෂේත්‍රයේ මතුවෙමින් පවතින තත්ත්වයන් පිළිබඳ ගැඹුරු සංවාදයකට සහ අදහස් හුවමාරුවකට අවකාශය සැලසිණි. විවිධ ජාත්‍යන්තර අත්දැකීම්වලින් දැනුම ලබා ගැනීමට, උගත් පාඩම් සහ නව්‍ය ප්‍රවේශයන් හුවමාරු කර ගැනීමට මෙන්ම මහ බැංකු, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ වෙළෙඳපොළ සහභාගිවන්නන් අතර වෘත්තීය සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ද මෙම සමුළුව අවස්ථාවක් සලසා දුන්නේ ය.

ප්‍රථමවරට පවත්වන ලද මෙම සංචිත කළමනාකරණ සමුළුව, ජාත්‍යන්තර සංචිත කළමනාකරණ ක්ෂේත්‍රය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුව ගෝලීය මහ බැංකු ප්‍රජාව සමඟ පවත්වාගෙන යන සබඳතාවල වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.

ගෝලීය මූල්‍ය පද්ධතිය නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ වෘත්තිකයන් සහ විශේෂඥයන් එක්රැස් කරමින්  පැවැත් වූ මෙම සමුළුව, සංචිත කළමනාකරණයේ වෙනස් වෙමින් පවතින ස්වභාවය පිළිබඳ අවධානය යොමු කිරීමට ත්, වඩ වඩාත් සංකීර්ණ හා අවිනිශ්චිත වෙමින් පවතින ගෝලීය පරිසරයක් තුළ වෙනස්වන තත්ත්වයන්ට කඩිනමින් අනුගත වීමේ හැකියාවෙන් යුතුව, ඉදිරි දැක්මක් සහිතව සහ ඔරොත්තු දීමේ හැකියාවෙන් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳ සාකච්ඡා කිරීමට ත් කාලෝචිත වේදිකාවක් නිර්මාණය කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website