
පළමුවෙනි ලිපිය
මහින්දාගමනය සිදුවීද නැත්ද පිළිබඳව නිර්මාල් රංජිත් දේවසිරි මහතා ප්‍රකාශකර ඇත්තේ විද්‍යාත්මක ඉතිහාසකරණය මත පදනම්ව සිදුකල මතයක් නොව, ඔහුගේ පුද්ගලික මතය බව මේ සිදුවීම පිළිබඳව අදාළ ඉතිහාස සාධක විමසනවිට පැහැදිළිවේ
කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය විෂය පිළිබඳ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මැතිතුමා යූ ටියුබ් චැනලයක මීට මාස කිහිපයකට පෙර කරන ලද සාකච්ඡාවක් පිලිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල විවිධ මත පළවෙමින් පවතී. අද ලංකාවේ සාමාන්‍යයෙන් සිදුවන්නාක් මෙන් මෙවන් කරුණක් සම්බන්ධයන් සිදුවන සාකච්ඡා තම තමන්ගේ පුද්ගලික අදහස් වලින්, අපහාස , අවලාද, මඩ ප්‍රහාර වලින් ඔබ්බට නොගොස් එකතැන පල්වෙමින් පවතී.

මහාචාර්ය නිර්මාල් රංජිත් මහතාගේ මතය
මහාචාර්ය නිර්මාල් රංජිත් මහතාට අනුව මහාවංශයේ සඳහන්වන අන්දමට ධර්මාශෝක අධිරාජයාගේ පුතෙකුවූ මහින්ද නම් මහරහතන්වහන්සේ නමක්, උතුරු ඉන්දියාවේ සිට අහසින් මිස්සක පවුවට වැඩ, ඒ වනවිට ලංකාවේ රජකම්කල දේවානම්පියතිස්ස රජු බෞද්ධයෙකු කලපසු, ලංකාව බෞද්ධ රටක් වූයේ යැයි යන්න මිත්‍යාවකි. අද මහින්දාගමනය ලෙස හඳුන්වනු ලබන මේ සිදුවීම මිත්‍යා කතන්දරයෙකි. ඔහුට අනුව මේ කථාව පසුකලක ලංකාවේ බහුතර ජනතාව බෞද්ධයන්වූ පසු මහාවංශය රචනා කල හිමිනම විසින් හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස, තමන් සිංහල බෞද්ධයන් වීම සාධාරණීකරණය කිරීම පිනිස ගොඩනැගූ මිත්‍යා කතන්දරයකි.
මහින්දාගමනය සිදුවීද නැත්ද පිළිබඳව නිර්මාල් රංජිත් දේවසිරි මහතා ප්‍රකාශකර ඇත්තේ විද්‍යාත්මක ඉතිහාසකරණය මත පදනම්ව සිදුකල මතයක් නොව, ඔහුගේ පුද්ගලික මතය බව මේ සිදුවීම පිළිබඳව අදාල ඉතිහාස සාධක විමසනවිට පැහැදිළිවේ.
කකුල් දෙකකුත්, අත් දෙකකුත්, කඳකුත්, හිසකුත් ඇති මිනිස් ලක්ෂණ ඇති සප්‍රානික ජීවියෙකුට අපි මිනිසෙකු යැයි කියමු. මේ මිනිසාගේ කකුලක් හෝ දෙකක් හෝ අතක් හෝ අත් දෙකක් නැති නිසා ඔහු සප්‍රානික වුවත් ඔහු මිනිසෙකු නොවේයැයි කීම වැරදිය. එසේම ඔහුගේ කඳ හෝ හිස නොමැතිනම් ඔහු සප්‍රානික වීමට නොහැකි නිසා ඔහුට අපට මියගිය මිනිසෙකු යැයි කීමට සිදුවේ. මේ අවස්ථාවේදී ඔහු සප්‍රානික මිනිසෙකු යැයි හෝ ඔහු මිනිසෙකු නොවේ යැයි පැවසීම වැරදිය. කකුල් දෙකකුත්, අත් දෙකකුත්, කඳකුත්, හිසකුත් ඇති නමුත් මිනිස් ලක්ෂණ නොමැති සප්‍රාණික අලියෙකුට මිනිසෙකු යැයි කීමද වැරදිය
ඉතිහාස ප්‍රවෘත්ති පිලිබඳ විමසීම්වල හා විග්‍රහයන්ගේ අවසානයේදී එලඹිය හැකි නිගමනයන්ගේ ස්වභාවයද එයයි. ඉතිහාසයේ සිදුවීම් සිදුවී අවසානය. ඉතිහාසයේ යම් කරුනක් සම්බන්ධයෙන් සිදුවන්නට ඇත්තේ එක් දෙයකි. මේ ප්‍රස්තුත මාතෘකාවේද සිදුවන්නට ඇත්තේ එක් දෙයකි. එනම් ඉතිහාසයේදී මහින්දාමනය නම් සිදුවීමක් සිදුවන්නට හෝ නොවන්නට ඉඩ ඇත.
මහාවංශයේ මේ සිදුවීම පිළිබඳව ඇති සියළු කරුණු පසෙකට දැමූවත් මේ සම්බන්ධයෙන් සියළු ඓතිහාසික සාධක මත ඔප්පු කලහැකි දෙයක් ඇත. එනම් “ඉන්දියාවේ පැවති මගධ අධිරාජ්‍යයේ මෞර්ය වංශයේ තුන්වෙනි රජු දවස, ඒ අධිරාජ්‍යයේ මඟපෙන්වීම මත ලංකාවට පැමිණි බෞද්ධ ධර්මදූත පිරිසක් එකල ලංකාවේ විසූ ප්‍රධානම රජු හා ඔහුගේ සහපිරිවර බෞද්ධයන් බවට පත්කල පසු, ඔවුන්ගේ අනුග්‍රහයෙන් ලංකාව තුල සීග්‍රයෙන් බුදුදහම ව්‍යාප්තවී එය සිංහලයන්ගේ ප්‍රධානම දහම විය” යන්නයි. මේ සිදුවීමට පසුකාලීනව “මහින්දාගමනය” යැයි නමක් තැබිණි. මේ නමේ නිරවද්‍යභාවය කෙසේ වෙතත් ඉහත කී වාක්‍යය අදට හෙලිදරව්වී තිබෙන ඓතිහාසික සාධක මත විද්‍යාත්මකව මැනවින් ඔප්පුකිරීම මේ ලිපි පෙලේ පරමාර්ථයයි.
ලංකාවට පැමිණි දූත පිරිසේ නායක හිමියන්ගේ නම මහින්ද නොවීම නිසා හෝ මේ මහින්ද නම් බෞද්ධ හික්ෂූන්වහන්සේ ධර්මාශෝක රජුගේ පුතෙකු නොවීම නිසා හෝ ඒ පිරිස ලංකාවට පැමිණියේ ඍධි බලයෙන් අහසින් නොවීම නිසා හෝ ඔවුන් වැඩියේ මිස්සක පව්වට නොවීම නිසා හෝ ඔවුන් පැමිණෙන විට ලංකාවේ රජු මුව දඩයමේ නොගොස් සිටීම නිසා හෝ ඉහත වාක්‍යයේ හරය වෙනස් නොවේ. එසේ පවසන්නා කකුල් අතපය නැති නිසා මිනිසා මිනිසෙකු නොවේයැයි තර්ක කරන අයෙකුට සමානය.
“Finding Sinhabahu” කෘතිය හා මහාවංශය
මේ මාතෘකාව පමණක් නොව මහාවංශයේ විජයාවතරණය හා බැඳුණු ප්‍රවෘත්ති, පණ්ඩුකාභය පුරාවෘත්තය, ලංකාවට දන්ත ධාතුව ගෙන ඒමේ පුවත විද්‍යාත්මක ඓතිහාසික සාධක මත ඔප්පුකිරීම මා විසින් 2019 වසරේ ලියා පලකරන ලද “Finding Sinhabahu” නම් කෘතියේ සවිස්තරාත්මකව ලියා ඇත. මේ දක්වා ලංකාවේ හා ඉන්දියාවේ පළවී ඇති සෙල්ලිපි වල මුල් කියැවීම්, තඹපත්, ඓතිහාසික ග්‍රන්ථ, ජාන විද්‍යාත්මක කරුණු පමණක් නොව ඒ ඒ ස්ථාන වලට මා ගොස් සොයාගත් කරුණු මේ ඓතිහාසික සාධක විග්‍රහයට මා ඇතුළුකොට ඇත. මහාචාර්ය නිර්මාල් රංජිත් මැතිතුමාද ඔහුගේ වීඩියෝවේ 41 වෙනි විනාඩියේදී මාගේ මේ පොත පිළිබඳව කෙටි සඳහනක් කරයි.
මේ පොත 2020 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළලේදී හොඳම පර්යේෂණ ග්‍රන්ථය ලෙස නිර්දේශිතව සම්මාන ලැබූ බව නිරහංකාර ලෙස මෙහි සඳහන් කරන්නේ, ඒ සම්මානය පිරිනැමීමට පෙර ඉතිහාස ගවේශණ පිළිබඳ විෂය ප්‍රවීනයන් මාගේ කෘතියෙහි ඇති කරුණුවල විද්‍යාත්මකබව විමසීමට විසින් ලක්කල බව මා හොඳින් දන්නා නිසාය. වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වන මම ඉතිහාස විෂය පිළිබඳව සම්මත ඉගැනීමක් හෝ පුහුණුවක් ලබා නැතිමුත්, ඉතිහාසය හා විද්‍යාත්මක ඉතිහාසකරනය පිලිබඳව බොහෝ පතපොත කියවීමෙන් පසුව ස්වෝත්සාහයෙන් ලබාගත් දැනුම තුලින් හැකිතාක් නිරවද්‍ය ලෙස හා අවංකව ඉතිහාස පුවත් අධ්‍යයනයේ හා ලිවීමේ නිරතවන්නෙක්මි. මා එසේ නිර්භයව ඒ කාර්යයේ නිරතවන්නේ අද ලංකාවේ ඉතිහාසය සොයාගැනීමට මුල්වූ බොහෝ දෙනෙකු මා මෙන්ම ඉතිහාස විෂය පිළිබඳව සම්මුති ඉගැනීමක් හෝ පුහුණුවක් ලබා නැති අයවූ බව දන්නා නිසාය. ලාංකික පුරාවිද්‍යාවේ හා ඉතිහාසයේ පෙර ගමන්කරුවන්වූ එච්. සී. පී බෙල්, ඩබ්ලිව් කොඩ්‍රිංග්ටන්, සර් එමර්සන් ටෙනන්ට්, සී ටර්නර්, පෝල් ඊ පීරිස් රාජ්‍ය සිවිල් සේවකයන් වූ අතර, හෙන්රි පාකර් ඉංජිනේරුවෙකු විය. සී. ඩබ්ලිව් නිකොලස් මහතා විශ්වවිද්‍යාලයෙන් ඉවතට වැටී වනසත්ව දෙපාර්තමේන්තුවේ සේවය කල අයෙකු විය. ඊ. එල්. බ්‍රෝහියර් මිනුම්දෝරුවෙකු විය. ශ්‍රී ලාංකික පුරාවිද්‍යාවේ හා ඉතිහාස ගවේශනයේ පියා ලෙස සැලකෙන සෙනරත් පරනවිතාන මහතාද විශ්වවිද්‍යාලයකින් මූලික උපාධියක් නොලැබූවෙකු නොවීය. මේ ඉතිහාස විෂය පිළිබඳව සම්මුති ඉගැනීමක් හෝ පුහුණුවක් නොලැබූවන් නොවන්නට අද අප දන්නා ඉතිහාසයේ බොහෝදේ අප නොදැනගැනීමට ඉඩ තිබිණි.
මා මේ දීර්ඝ විස්තරය කලේ ඉතිහාස විෂය පිළිබඳව සම්මත ඉගැනීමක් හෝ පුහුණුවක් නොලැබීම පිළිබඳව මා තුල ඇති හීනමානයක් නිසා නොව, පුරාවිද්‍යාත්මක නොවන නව ඓතිහාසික විමසීම් හා නව සොයාගැනීම් ලංකාවේ ඉතිහාසය පිළිබඳ විද්‍යාර්ථීන් අතින් නොසිදුවෙන, නොලියවෙන මෙවන් යුගයක, ස්වෝත්සාහයෙන් හෝ ඉගෙන ඉතිහාස ගවේශනයන්හි විද්‍යාත්මකව නියැලීමට අන් අය පෙළඹවීමටයි. අද ලංකාවේ පුරාවිද්‍යා ගවේෂණ සිදුවූවත් නව ඉතිහාස පර්යේෂණ හා සොයාගැනීම් සිදුවන්නේ අල්ප ලෙසය.
නිකරුනේ බැටකන මහාවංශ සංස්කාරකවරයා
මහාවංශය විචාරාත්මකව නොකියවා, එහි ඇති කරුණු පිළිබඳව නිසි ගවේශනයන් නොකොට එහි ඇති කරුණු ගැන මත පලකිරීම විද්‍යාර්ථියකු විසින් නොකොට යුතුය. මහාවංශයට බැටදෙන බොහෝ අය වරදවා වටහාගෙන නැවත නැවත පවසන කරුණක් ඇත. එනම් එය 5 වෙනි සියවසේදී මහානාම හිමියන් විසින් ලියූ නිසා එහි ක්‍රි. පූ. යුග පිළිබඳව එනම් එය ලියා වසර 800 කට පෙර සිදුවූ කරුණු ගැන ඇති විස්තර නිරවද්‍ය නොවන බවයි.
පොතක් කියවීමට පෙර අප එහි පෙරවදන කියවිය යුතුය. මහාවංශයේ මුල් භාගය 5 වෙනි සියවසේදී ලියූ මහානාම හිමිපාණෝ එහි පෙරවදනේ මෙසේ ලියයි. “මේ මහාවංශය පෝරාණයන් විසින් කරන ලද නමුත් එය ඇතැම් තැනක අධික විස්තර සහිතවද, ඇතැම් තැනක අතිශයින් සංක්ෂිප්තවද, බොහෝ පුනරුක්ත දෝෂ සහිතවද, කරන ලදී. එම දොස්වලින් තොරවූ, පහසුවෙන් තේරුම් ගතහැකිවූ, ප්‍රසාදය හා සංවේගයද උපදවන, ශෘතිමය වශයෙන්ද ආචාර්ය පරම්පරාවෙන් පැවත එන මෙය ප්‍රසාදය උපදවන තැන්වලදී ප්‍රසාදයද, සංවේගය උපදවන තැන්වලදී සංවේගයද උපදවමින් පවසන්න.” (මහාවංශය පළමුවෙනි හා දෙවෙනි ගාථා) මේ අනුව 5 වෙනි ශතවර්ෂයේදී මහානාම හිමියන් විසින් කරන ලද්දේ එතෙක් පැවති මහාවංශය උනන්දුවෙන් අසා සිටිය හැකි අයුරින් අද ව්‍යවහාර භාෂාවෙන් පවසන පරිදි “සංස්කරණය” කිරිම පමණි. මහානාම හිමියන් මහාවංශයේ කතුවරයා බවත්, එනිසා 5 වෙනි සියවසේදී හදිසියේ පහලවූ බවත් පැවසීම ඉතිහාසය ගැන නොදන්නා අයෙකු මිස විද්‍යාර්ථියෙකු විසින් නොකල යුතුය. මහාවංශය එයට වඩා පැරණි ග්‍රන්ථ එක්කොට සංස්කරනය කර ලිවූවක් මිස, මහානාම හිමියන් විසින් හදිසියේ 5 වෙනි සියවසේ ලියූවක් නොවේ.
ඇත්ත වශයෙන්ම මහාවංශ සංස්කරණ එකක් නොව කිහිපයක් ලංකාවේ පැවතිණි. මෙයින් කම්පුචියාවේ තිබී සොයාගන්නා ලද මොග්ගල්ලාන හිමියන් 8 වෙනි සියවසේදී කරන ලද සංස්කරණයේ අවසාන පරිච්ඡේදයේ ඇති මේ ප්‍රකාශය තමන් පෙනී සිටින මතය කිසිම නව සාධකයක් මත වෙනස් නොකිරීමට සූදානම් උගතුන්ට මනා පාඩමකි. “බුද්ධවංශයද, මහාවංශයද, ථූපවංශයද, අප්‍රකට තොරතුරුද ගලපා පිඬුකොට අර්ථයෙන්ද, යුක්තියෙන්ද, ගොතා කළ මෙහි අකටයුත්තක් හෝ නොගැලපෙන්නක් වේ නම් පූර්වාපර සන්ධි ගලපා, නැවත නැවත විමසා නුවණැතන් මෙය ගතයුතුය. දොස් සහිතව නොගත යුතුය.” (පි 514 – මහා වංශය පළමු වෙලුම- බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය)
අටවෙනි සියවසේ විසූ මොග්ගල්ලාන හිමියන් තමන් ඉදිරිපත් කරන කරුණු පවා වැරදි නම් ඒවා පිළිනොගන්නා ලෙස කියවන්නන්ට පැවසීම, ඒ යුගයේ උගත් සිංහල බෞද්ධයන්ට තිබූ ශික්ෂණය හා තම මතයට පවා නොඇලුනු ස්වභාවය මැනවින් පිලිබිඹු කරයි. නව සාක්ෂි සාධක සහිතව පෙන්වා දුනහොත් තමන් මහින්දාගමනය ගැන දැනට දරන මතය වෙනස් කිරීමට සූදානම් බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මැතිතුමා මීට දින කිහිපයකට පෙර නිකුත්කල පුද්ගලික වීඩියෝවක කියයි. මහින්දාගමනයේ සැබෑ සාධක “පූර්වාපර සන්ධි ගලපා” ඉදිරි ලිපිවලින් සිදුකලවිට එතුමාට තමන් ගැන දරන මතය වෙනස්කිරීමට සිදුවන බව නිසැකය.
| වෛද්‍ය අජිත් අමරසිංහ
(වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු වන අජිත් අමරසිංහ රාජකීය ආසියාතික සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ යාවජිව සාමාජිකයෙකි. විවිධ ඉතිහාස කරුණු ගැන පොත් හා ලිපි සම්පාදනය කර ඇති ඔහුගේ Finding Sinhabahu ඉතිහාස පර්යේෂණ ග්‍රන්ථය 2020 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළලේදී වසරේ හොඳම පර්යේෂණ කෘතිය ලෙස නිර්දේශිත විය.)
දෙවෙනි කොටසට ……..
ඉහත සිතුවම https://www.facebook.com/AnjanaMilindaSuraweera උපුටා ගැනීමකි – සංස්කාරක














