මේ දිනවල පවතින වියළි කාලගුණය හේතුවෙන් සරුංගල් යැවීම ළමුන් අතර වැඩි වැඩියෙන් ජනප්‍රිය වී ඇති නමුත් නොසැලකිලිමත් පිළිවෙත් නිතර තුවාල හා ජීවිතයට තර්ජනයක් වන සිදුවීම් වලට පවා හේතු වන බව ළමා රෝහලේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩබලන අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා පැවසීය.
“සරුංගල් යැවීම ප්‍රියජනකයි, නමුත් අනාරක්ෂිත ක්‍රම බරපතෙළ හානියක් ඇති කළ හැකියි. දෙමාපියන් සහ වැඩිහිටියන් දරුවන්ගේ ආරක්ෂාව කෙරෙහි නිරන්තරයෙන් අවධානය යොමු කළ යුතුයි,” වෛද්‍ය රත්නසේකර මහතා අවධාරණය කළේය.
මේ තත්ත්වය සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරමින් වෛද්‍ය රත්නසේකර මහතා පැවසුවේ සරුංගල් යැවීම කරන දරුවන් අතර බහුලම අනතුර වන්නේ ගැටුම් හා වැටීම් බවයි. කණ්ඩායම් වශයෙන් සරුංගල් යැවීම බොහෝ විට ගැටුම් සහ වැටීම් වලට හේතු වන අතර, වහළවල්වලින් හෝ උස් ස්ථානවලින් සරුංගල් යැවීමට උත්සාහ කිරීම බරපතළ අවදානම් ඇති කරන බව ඔහු පැවසුවේය.
මෙම සමයේ විදුලි සැර වැදීමේ අනතුරු ද සැලකිය යුතු ලෙස වාර්තා වන බව පෙන්වා දුන් රත්නසේකර මහතා සරුංගල් නූල් සහ අධි වෝල්ටීයතා විදුලි රැහැන් අතර ස්පර්ශය විදුලිය සම්ප්‍රේෂණය කළ හැකි අතර, කම්පන සහ දරුණු පිළිස්සුම් තුවාල ඇති කළ හැකි බවට අනතුරු ඇඟවීය.
මෙය මාරාන්තික බව කී වෛද්‍ය රත්නසේකර මහතා සරුංගල් නූල් අධි වෝල්ටීයතා වයර්වලින් විදුලිය සන්නයනය කළහොත් ක්ෂණික මරණ සිදුවිය හැකි බව පෙන්වා දුන්නේය.
දරුවන්ගේ විනෝදය සහ ඔවුන්ගේ ආරක්ෂාව සමාන වැදගත්කමකින් සැලකිය යුතු බව ඔහු දෙමාපියන්ට සහ භාරකරුවන්ට යළි සිහිපත් කළේය.














