අද (15) දින සිට නැවත දැනුම් දෙන තුරු සෙනසුරාදා දින රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නෙවිල් විජේරත්න මහතා පැවසුවේය.
ග්‍රාම නිලධාරීන් විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ කර තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය සඳහා විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වීම හේතුවෙන් මෙම පියවර ගත් බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ විජේරත්න මහතා මෙසේ ද පැවසුවේය,”අපි තීරණය කරලා තියෙනවා අද දින සිට සෙනසුරාදා කාර්යාල දිනවලින් ඉවත වෙන්න. ඒ අනුව කිසිදු අමතර දීමනාවක් නොලබා අපේ නිවාඩු කැප කිරීමෙන් කරන ඒ කාර්යාල දිනය අපි ඉවත් කරනවා. ඒ වගේම එදාට අපි ක්ෂේත්‍ර රාජකාරි කරන්නේ නෑ. ඒ අනුව සෙනසුරාදා කාර්යාල දිනය අපි වර්ජනය කරනවා. ඒ අනුව ග්‍රාම නිලධාරීන් මින් ඉදිරියට නැවත දැනුම්දෙ නතුරු අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දින පමණයි වසමේ කාර්යාල තුළ රැඳී සිටින්නේ. ඒ වගේම අනෙකුත් සංගම්වලටත් අපි ආරාධනා කළා අද දින සිට සෙනසුරාදා කාර්යාල දිනවලින් ඉවත්වෙන්න.”
“ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම, උපාධිය අවම සුදුසුකම බවට පත් කිරීම, ග්‍රාම නිලධාරීන්ගේ දීමනා ඇතුළත් ගම්මන්පිල කමිටුව විසින් නිර්දේශ කරන ලද කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද දීමනා ලබා ගැනීම, සෙනසුරාදා ඇතුළු රජයේ නිවාඩු දිනවල සිදුකරන සේවය වෙනුවෙන් දිනක වැටුප ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් අපේ සංගමය පසුගිය 10 සහ 11 යන දෙදින තුළ අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකර සිටියා. ඉල්ලීම් දිනා ගැනීමේ දී අවශ්‍ය වුණොත් මීට වඩා දැඩි පියවරවලට වුණත් යන්න අපි සූදානම්” විජේරත්න මහතා පැවසුවේය.














