අධික උණුසුම සහ වර්ෂාව හමුවේ ළමුන්ට සහ වැඩිහිටියන්ට සෞඛ්‍ය බලපෑම් රැසක්

මේ දිනවල පවතින අධික උණුසුම හමුවේ දරුවන්, වැඩිහිටියන් සහ ගර්භනී මව්වරුන් විජලනයට පත්වීමේ හැකියාව පවතින බැවින් වැඩිපුර ජලය පානය කිරීමට පියවර ගන්නා ලෙස ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

වැඩිහිටියෙකු දිනකට අවම වශයෙන් ජලය ලීටර් 3ක්වත් පානය කිරීම සුදුසු වන අතර දරුවන්ට ජලය ලබා දීමේදී ඔවුන්ගේ ශරීර බරට සරිලන ලෙස ජලය ලබා දීමට දෙමාපියන් වගබලා ගත යුතු බව දීපාල් පෙරේරා මහතා සිහිපත් කළේය.

ප්‍රමාණවත් තරම් ජලය පානය නොකර එළිමහනේ රැකියාවල නිරත වීම, විනෝද චාරිකා යෑම ආදිය හේතුවෙන් තාප කම්පන තත්ත්වයන්, ක්ලාන්තය, වලිප්පුව වැනි සංකූලතා ඇතිවිය හැකි අතර, එය මරණයට ද හේතු විය හැකි බරපතළ තත්ත්වයක් බව ඔහු අවධාරණය කළේ.

“මෙයට සුදුසුම විකල්පය තමයි නිවසින් බැහැරට යන අවස්ථාවන්වලදී ජල බෝතලයක් රැගෙන යාම. එවිට වැඩි අපහසුවකින් තොරව අවශ්‍ය ජල ප්‍රමාණය ලබා ගන්නා පුළුවන්. ඒ වගේම මේ අවස්ථාවේ තවත් වැදගත් කරුණක් කිහිපත් කළ යුතුයි. මෙවැනි කාලගුණික තත්ත්වයක් තුළ පාචන තත්ත්වයන් පැතිරීමේ ඉහළ ප්‍රවණතාවක් තිබෙනවා. ඒ නිසා සෑම විටම දරුවන්ට පිරිසිදු පානීය ජලය සහ පිරිසිදු ආහාර පමණක් ලබා දීමට දෙමාපියන් වගබලා ගත යුතුයි”.

“ඒ වගේම පිරිසුදු පානීය ජලය වෙනුවට පැණි බීම සහ කෙටි ආහාර දරුවන්ට ලබා දීමෙන් හැකිතාක් වැළකිය යුතුයි. ඒ වෙනුවට දෙහි, නාරං, දොඩම්, තැඹිලි වතුර, කැඳ වර්ග සහ සුප් වැනි ස්වාභාවික දියර වර්ග පානය කිරීමට සැලැස්වීමෙන් දරුවන්ගේ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව තහවුරු කළ හැකියි” ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩි දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website