පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර ඉලක්ක කර ගනිමින් රට පුරා විශේෂ වැටලීම් 52ක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) මගින් පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍යය හා ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් දිවයින පුරා පිහිටි පුද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර ඉලක්ක කර ගනිමින් පසුගිය දිනවල විශේෂ වැටලීම් සහ පරීක්ෂා කිරීම් මාලාවක් ක්‍රියාත්මක කරන ලදී.

සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ මෙම විශේෂ මෙහෙයුමේදී වැටලීම් 52ක් සිදුකර ඇති අතර, පරීක්ෂාවට ලක් වූ ආයතන රැසක රෝගීන්ගේ පරීක්ෂණ හා ප්‍රතිකාර සඳහා භාවිත කරනු ලබන වෛද්‍ය රසායනාගාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් බරපතළ අනනුකූලතා රැසක් අනාවරණය කරගෙන ඇත.

මෙම විමර්ශනවලදී දිවයිනේ ප්‍රධාන පෙළේ පුද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර ද පරීක්ෂාවට ලක් කෙරුණු අතර, රෝගීන්ගේ වෛද්‍ය පරීක්ෂණ සඳහා භාවිත කරනු ලබන ඇතැම් රසායනාගාර ද්‍රව්‍ය සහ උපකරණ කල් ඉකුත්වීම හේතුවෙන් භාවිතයට නුසුදුසු තත්ත්වයේ පැවතීම, ගුණාත්මකභාවය සම්බන්ධ ගැටලු පැවතීම සහ භාවිතයේ පවතින ද්‍රව්‍ය සමඟ කල් ඉකුත් වූ ද්‍රව්‍ය ගබඩා කර තිබීම විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත.

විමර්ශනවලදී රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීම සඳහා භාවිත කරන මෙවලම් කට්ටල, විවිධ රසායනාගාර රසායනික ද්‍රව්‍ය, ඩෙංගු රෝග විනිශ්චය සඳහා භාවිත කරන පරීක්ෂණ කට්ටල, හෘද රෝගීන් සඳහා භාවිත කරන ජෙල් වර්ග, වෛද්‍ය පරීක්ෂණ සඳහා භාවිත කරන විවිධ රසායනාගාර ද්‍රව්‍ය සහ වර්ණක ද්‍රාවණ ඇතුළු උපකරණ හා රසායනාගාර ද්‍රව්‍ය රැසක් භාවිතයට නුසුදුසු තත්ත්වයේ පවතින බව අනාවරණය වී ඇත. එම ද්‍රව්‍ය විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.

මෙහිදී අනාවරණය වූ වැරදි සම්බන්ධයෙන් අදාළ ආයතනවලට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට නියමිතය.

පාරිභෝගික ජනතාවගේ ජීවිත හා සෞඛ්‍යයට බලපෑම් ඇති කළ හැකි මෙවැනි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කිසිඳු සහනයක් ලබා නොදෙන අතර, එවැනි ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා දිවයින පුරා මෙවැනි විශේෂ වැටලීම් සහ විමර්ශන ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website