
අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහා රජය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පිටු 09ක‘දීර්ඝ’ ලිපියක් යවා ඇත.
කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයේ සභාපති වසන්ත පිටිගල සහ ලේකම් ටෙනී ප්‍රනාන්දුගේ අත්සනින් පසුගිය 03 වැනිදා ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් වන්නේ එවැනි පියවරක් ව්‍යවස්ථාපිත සහතික කිරීම් වලට හානි කරන බවත්, අධිකරණ වෘත්තීන් අඩාල කරන බවත්, අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි මහජන විශ්වාසය ඛාදනය කරන බවයි.
Grave Concerns Regarding the Proposed Enhancement of the Retirement Age of Judges of the Court of Appeal and Supreme Court of Sri Lanka (ශ්‍රී ලංකාවේ අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස වැඩි කිරීමට යෝජිත පියවර සම්බන්ධයෙන් බරපතල ගැටලු) යන ශීර්ෂ පාඨය යටතේ ලියා ඇති ලිපියේ මෙසේ ද සඳහන් වේ. (ඉංග්‍රීසි ලිපියේ සිංහල පරිවර්තනයකි)
“කොළඹ මහාධිකරණය ඉදිරියේ ක්‍රියාකාරීව කටයුතු කරන නීතිඥවරුන්ගෙන් සමන්විත ස්වාධීන සංගමයක් වන කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයේ සාමාජිකයින් වන අපි, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පදනම් වී ඇති ව්‍යවස්ථාමය පදනම් ආරක්ෂා කිරීමේ ආත්මයෙන්, අතිශයින්ම බැරෑරුම් ලෙස ඔබතුමා වෙත ලියමු. ශ්‍රී ලංකාවේ උසස් අධිකරණවල ගරු විනිසුරුවරුන්ගේ, එනම් අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස වැඩි කිරීම සඳහා රජය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව කෙරෙහි ඔබතුමාගේ අවධානය යොමු කරන්නේ ගැඹුරු සැලකිල්ලකින් සහ ඇත්ත වශයෙන්ම, ව්‍යවස්ථාමය යුතුකමක් පිළිබඳ හැඟීමකින් යුතුව ය.
අධිකරණයේ ස්වාධීනත්වය යනු හුදෙක් ව්‍යවස්ථාමය අභිලාෂයක් පමණක් නොවේ; නීතියේ ආධිපත්‍යය, මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ නීත්‍යානුකූලභාවය රඳා පවතින පදනම එයයි. උසස් අධිකරණවල විනිසුරුවරුන්ගේ සේවා කාලය සහ සේවා කොන්දේසි වෙනස් කිරීම සඳහා සෘජුව හෝ වක්‍රව බලපෑමක් ඇති කරන ඕනෑම පියවරක්, එය කෙතරම් යහපත් චේතනාවෙන් යුක්ත වුවද, වඩාත්ම දැඩි ව්‍යවස්ථාමය සහ නීති විද්‍යාත්මක පරීක්ෂාවට ලක් කළ යුතුය”
මෙම දීර්ඝ ලිපිය පහත යොමුව හරහා කියවීමට හැකිය.
https://www.newswire.lk/wp-content/uploads/2026/06/Letter-to-the-President-.pdf














