අධික වැසි සමඟ ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 6ක් වාන් දමයි

පවතින අධික වර්ෂාපතන තත්ත්වය සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 6ක් මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ, ජල කළමනාකරණ ඉංජිනේරු එච්.එම්.ඩී.පී.එස්.ඩී හේරත් මහතා පවසයි.

ඔහු පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජංගන ජලාශය, බදුල්ල දිස්ත්‍රික්කයේ සොරබොර වැව, මහනුවර දිස්ත්‍රික්කයේ වෑ මැඩිල්ල ජලාශය, දේවහූව ජලාශය, නාලන්ද ජලාශය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර ජලාශය, තිස්ස වැව, වීරවිල වැව, යෝධ ඇල, වෙහෙරෙගල ජලාශය, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය ජලාශය සහ මොනරාගල දිස්ත්‍රික්කයේ අලිකොටාආර යන ජලාශ වාන් දමමින් පවතින බවයි.

වාන් දමන මධ්‍ය පරිමාණ ජලාශ අතරට අනුරාධපුර දිස්ත්‍රික්කයේ තුරුවිල, බදුල්ල දිස්ත්‍රික්කයේ බෝඹුරුඇල්ල, හම්බන්තොට දිස්ත්‍රික්කයේ දෙබරවැව, මොනරාගල දිස්ත්‍රික්කයේ සද්ධාතිස්ස සහ මාලින්පොත, වව්නියාව දිස්ත්‍රික්කයේ මයිලන්කුලම ජලාශ ද පවතින බව ද හේරත් මහතා සඳහන් කළේය.

ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනය අනුව මෙම වාන් දමන ප්‍රමාණයන් වෙනස් විය හැකි බැවින් එම ජලාශ අවට සහ පහත්බිම්වල වෙසෙන ජනතාව වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ ආයතන මගින් නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙස ද හේරත් මහතා අදාළ ප්‍රදේශවල ජීවත් වන සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන ජනතාවගෙන් ද ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website