සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සඳහා තම ගම්බිම් බලා ගොස් කොළඹට ආපසු පැමිණෙන මහජනතාව සඳහා විශේෂ ප්‍රවාහන සේවා අද (15) සිට ආරම්භ කරන බව ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේය.
මගී ඉල්ලුම මත පදනම්ව අද සිට අප්‍රේල් 20 වන දින දක්වා අමතර බස් රථ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු පැවසුවේය.
මෙම සේවාවන් ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රධාන වශයෙන් බදුල්ල, බණ්ඩාරවෙල, නුවරඑළිය, මහනුවර සහ දකුණු පළාතේ මාර්ග කෙරෙහි අවධානය යොමු කළ බව මිරැන්ඩා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
“ග්‍රාමීය ප්‍රදේශවල සිට කොළඹට මගීන් ප්‍රවාහනය කිරීම සඳහා බස් රථ යොදවා තිබෙනවා. මේ සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය බස් රථ 1500 ක් වෙන් කර තිබෙනවා. ඔහු වැඩි දුරටත් පැවසුවේය.
අලුත් අවුරුදු සැමරුමෙන් පසු කොළඹට ආපසු යන අයට පහසුකම් සැලසීම සඳහා අද සිට විශේෂ දුම්රිය සේවා ද ආරම්භ කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.
මෙම විශේෂ දුම්රිය සේවාවන් අප්‍රේල් 19 වන දින දක්වා ක්‍රියාත්මක වන බවත් ඒ අනුව, අනුරාධපුරය සහ කොළඹ කොටුව, කන්කසන්තුරේ සහ අනුරාධපුරය, මාතර සහ මරදාන, බෙලිඅත්ත සහ මරදාන අතර විශේෂ දුම්රිය ධාවනය කරන බවත් ඔහු වැඩි දුරටත් පැවසුවේය.
















