නීතිය ක්‍රියාත්මක කිරීමේ දී දුප්පතුන් වෙනස් කොට සලකන්න එපා – ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කරයි

අගතිය හෝ සමාජ තත්ත්වය මත පදනම්ව, විශේෂයෙන් දුර්වල ආර්ථික තත්ත්වය හේතුවෙන් පුද්ගලයන්ට වෙනස් ලෙස සැලකීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අවසර නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළේය.

2023 දී සොරකමක් සම්බන්ධයෙන් හංවැල්ල පොලිසියට අනුයුක්ත නිලධාරීන් විසින් නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන වධහිංසා පමුණුවන ලද 21 හැවිරිදි දෛනික වැටුප් ලබන්නෙකු විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් අයදුම්පතක් සලකා බැලීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේය.

ශිරාන් ගුණරත්න, කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සෝභිත රාජකරුණා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේ පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත්, එය ව්‍යවස්ථාපිත ආරක්ෂණ පැහැදිලිවම නොසලකා හැර ඇති බවත්ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12(1), 12(2), 13(1) සහ 13(2) වගන්ති යටතේ සහතික කර ඇති පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් වගඋත්තරකරුවන් තිදෙනා විසින් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ අතර පොලිස් නිලධාරීන් තිදෙනාගේ ක්‍රියාවන් පොලිස් ආඥා පනතේ සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ විධිවිධාන උල්ලංඝනය කර ඇති බව ද විනිසුරු මඩුල්ල සඳහන් කළේය.

2023 දී හංවැල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ ප්‍රභාෂණ භාෂිත නයනංජන, සුරංග සිසිර කුමාර සහ වසන්ත කුමාර යනපොලිස් නිලධාරීන් තිදෙනෙකු විසින් නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම සහ වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබුණේය.

මෙම පොලිස් නිලධාරීන් තිදෙනාට ඔවුන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් 75,000 බැගින් ගෙවන ලෙසත් මෙම ගෙවීම් මාස හයක් ඇතුළත සිදු කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website