පළාත් සභා වෙත මුදල් වෙන් කිරීම: මුදල් කොමිෂන් සභාවේ නිර්දේශ මුදල් පිළිබඳ කාරක සභාවේ විමසුමට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ජ ව්‍යවස්ථාවේ (4)(අ) වන ව්‍යවස්ථාව අනුව 2026 වර්ෂය වෙනුවෙන් ජාතික අයවැයෙන් පළාත් සභා වෙත මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් මුදල් කොමිෂන් සභාව විසින්  ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු නිර්දේශ ඇතුළත් වාර්තාව සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සලා බලන ලදී. 

මේ පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වූයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, රවුෆ් හකීම්, හර්ෂන රාජකරුණා, විජේසිරි බස්නායක, සුනිල් රාජපක්‍ෂ, නිමල් පලිහේන, තිළිණ සමරකෝන් සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් 2026.02.05 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මුදල් කොමිෂන් සභාවේ සභාපති සුමිත් අබේසිංහ මහතා ඇතුළු අනෙකුත් සාමාජිකයින් විසින් 2026 වර්ෂය සඳහා පළාත් ප්‍රාග්ධන සහ පුනරාවර්ථන වියදම් අවශ්‍යතා තක්සේරු කිරීම සම්බන්ධයෙන් කාරක සභාව දැනුවත් කිරීම සිදු කරන ලදී.  මෙහිදී දීර්ඝ වශයෙන් පළාත් අධ්‍යාපන සහ සෞඛ්‍ය යන අංශ සම්බන්ධයෙන් මුදල් වෙන්කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සිදු විය. මෙහිදී පැමිණි නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ විශාල පාසල් සංඛ්‍යාවක් පළාත් සභා සතුව පවතින බැවින් ඒ වෙනුවෙන් වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කිරීම සිදු වන බවයි. එසේම පළාත් සභාවල ප්‍රාග්ධන වියදම් සඳහා ප්‍රතිපාදන ‍වෙන් කිරීමේ ඌණතාවක් පවතින බව මුදල් කොමිෂන් සභාව පෙන්වා දෙන ලදි. එහිදී මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පෙන්වා දුන්නේ රාජ්‍ය මූල්‍ය කළමනාකරන පනත ඇතුළත වියදම් සීමා සහිත බවත් එසේ තිබියදීත් හැකි උපරිම වශයෙන් ඌනතාව සම්පූර්ණ කිරීමට උත්සාහ කරන බවත්ය.

තවද ප්‍රාදේශීය සභා පවත්වාගෙන යාමට අවශ්‍ය මුදල් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කිරීම සිදු වූ අතර එම සාකච්ඡාව අතරතුර මුදල් අමාත්‍යාංශය නියෝජන කරන නිලධාරීන් පෙන්වා දුන්නේ රජයට ප්‍රමාණවත් තක්සේරු නිලධාරීන් නොමැති බවයි. මෙහිදී මුදල් කොමිෂන් සභාව පෙන්වාදුන්නේ තක්සේරු නිලධාරීන් බඳව‍ා ගැනීමට සහ පළාත් ගුරු පුරප්පාඩු පිරවීමට ඉදිරියේදී රජය පියවර ගතහොත්, ඒ සඳහා අමතර ප්‍රතිපාදන අවශ්‍ය විය හැකි බවයි.

එසේම පළාත් සභා විසින් ආදායම් ඉපයීම සම්බන්ධයෙන් සහ ඒවා වියදම් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීම සිදු විය.

වාර්තාව සලකා බැලීම සමාප්ත කරමින් කාරක සභාවේ සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේ මෙම සාකච්ඡාව ඉතාමත් ඵලදායී සාකච්ඡාවක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website