2026 වර්ෂයේ දින 19 තුළ මාරක රිය අනතුරු 113ක් වාර්තා වී ඇති බවත් එම අනතුරුවලින් පුද්ගලයින් 120 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවත් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා පැවසුවේය.
අද (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව හෙළි කළේය.
“මෙම අනතුරුවලින් පුද්ගලයින් 216ක් බරපතළ තුවාල ලබා තිබෙනවා. එසේම මෙම කාලය තුළ සුළු අනතුරු 490ක් ද වාර්තා වී ඇති බවත් ඉන් අලාභ හානි 159ක් ද වාර්තා වී තිබෙනවා. මෙම අනතුරුවලින් පදිකයින් 33 දෙනකු ජීවිතක්ෂයට පත් වුණා. එමෙන්ම මෙම කාලය තුළ යතුරුපැදි අනතුරු 45ක් වාර්තා වූ අතර යතුරුපැදිකරුවන් හත් දෙනකු ජීවිතක්ෂයට පත් වුණා” නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩි දුරටත් පැවසුවේය.






