
2026 වර්ෂය තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (SMEs) සහන පොළී යටතේ ණය ලබාදීමේ පැකේජයක් ක්‍රියාත්මක කරන බව සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මංජුල හෙට්ටිආරච්චි මහතා පවසයි.
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව එහි ප්රමුඛ කාර්යයක් වන අවශ්‍ය මූල්‍ය සහාය ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යපරිමාණ ව්‍යවසායකයින්ට බැංකු පද්ධතිය හා එක්ව ලබාදීමේ කාර්යය ඉටුකරන බවද සම්පූර්ණ වටිනාකම රුපියල් බිලියන 95ක පමණ මුදලක් මේ හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තමන්ගේ ව්‍යාපාරික කටයුතු ඇරඹීමට, පවත්නා ව්‍යාපාර පුළුල් කිරීමට සහ අවශ්‍ය තාක්ෂණය ලබාගැනීම සඳහා ලබාදීමට බලාපොරොත්තු වන බව ද මංජුල හෙට්ටිආරච්චි වැඩිදුරටත් පැවසුවේය.
ඔහු මේ බව හෙළි කළේ අද (12) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදීය.
මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ හෙට්ටිආරච්චි මහතා, “2026 වසර තුළ රජයක් වශයෙන් ළඟා කර ගැනීමට බලාපොරොත්තු වන ඉලක්ක රාශියක් තිබෙනවා. විශේෂයෙන් අපනයන අභිමුඛ නිෂ්පාදන ආර්ථිකයක් තුළ අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා යෑමට රජය බලාපොරොත්තු වෙනවා. දළ ජාතික නිෂ්පාදිතයට දක්වන දායකත්වය තුළ සුළු මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විශේෂයි. එමනිසා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම රජයේ ප්රමුඛ කාර්යයක් ලෙස පිළිගෙන තිබෙනවා.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විශාල බලපෑමකට ලක් වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නැවත සිය ව්‍යාපාර කටයුතු ඇරඹීම සඳහා ක්ෂණික පොළී කාරක ප්‍රාග්ධන ණයක් සඳහා රජය විසින් රුපියල් බිලියන 10ක් වෙන් කළා. රාජ්‍ය බැංකු සමඟ මෙම ණය යෝජනා ක්‍රමය මේ වන විට ආරම්භ කර තිබෙනවා. මේ වන විට පෞද්ගලික අංශයේ බැංකු ද මේ සඳහා දායක කර ගැනීමට කටයුතු කරමින් සිටිනවා. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ දිට්වා සුළි කුණාටුවේ බලපෑමට ලක් වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට 3%ක් වැනි ඉතාම අඩු පොළී ප්‍රතිශතයකට උපරිම රුපියල් මිලියන 25ක් දක්වා බැංකු පද්ධතිය හරහා කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීමට හැකියාව ලැබෙනවා.
මෙම ණය ආපසු ගෙවීම සඳහා මාස 06ක සහන කාලයක් සමඟ අවුරුදු 03ක ගෙවීම් කාලයක් ලබා දනවා. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ දිට්වා සුළි කුණාටුවේ බලපෑම් වලට ලක් වූ ව්‍යාපාර සහ ව්‍යවසායකයින් සඳහා ණය ලබාගත හැකියි”.















