දණ්ඩ නීති සංග්‍රහය (ද.නි.ස) (සංශෝධිත) 311 වන වගන්තියේ දැක්වෙන ආකාරයෙන් තුවාල කිරීමක් ‘බරපතල තුවාල සිදු කිරීම ලෙස විස්තර කළ හැකිය. (ඊට අදාල කරුණු ඉහත පරිච්ඡේදයෙහි සවිස්තරව දැක්වේ.) දඬුවම් ලැබිය හැකි වරදක් වනුයේ කැමැත්තෙන්ම බරපතල තුවාල සිදු කිරීමයි. කැමැත්තෙන්ම බරපතල තුවාල සිදුකිරීම ද.නි.ස. 313 වගන්තියෙහි අර්ථ දැක්වෙනුයේ මෙසේය.
313 – සිදු කිරීමට අදහස් කරනු ලැබුවේ නැතහොත් සිදු විය හැකි බව දැන සිටියේ බරපතල තුවාල වූ විට හා තමා විසින් කරනු ලැබූ තුවාල බරපතල වූ විට එලෙස කැමැත්තෙන්ම තුවාල සිදු කරන තැනැත්තා කැමැත්තෙන්ම බරපතල තුවාල සිදු කළ ලෙස’ සලකනු ලැබේ.
එනම්,
01 බරපතල තුවාල සිදු කිරීම අදහස හෝ
02. එම දැනුම සහ මානසික අංගය
03. බරපතල තුවාල සිදු කිරීම යන ශාරීරික අංගය එක්වීමෙන් බරපතල තුවාල සිදු කිරීම යන වරද සංයුක්ත වේ.
බරපතල තුවාල සිදු කිරීමට අදහසක් හෝ දැනුමක් නැතිව ක්‍රියා කරන ලද විටක දී 313 වන වගන්තිය යටතේ විස්තර වන වරද සිදු නොවේ. එනමුත්, එක් වර්ගයක බරපතල තුවාල සිදු කිරීමට අදහස් කරමින් හෝ ඒ බව දනින් ක්‍රියා කිරීමෙන් වෙනස් වර්ගයක බරපතල තුවාල ඇති වී නම් 313 වගන්තිය යටතේ විස්තර කරනු ලබන වරදම සිදු වේ. (ද.නි.ස. 313 වගන්තිය යටතේ එන පැහැදිලි කිරීම) මෙම කරුණු ද.නි.ස. 313 වගන්තියට අදාල නිදර්ශන තුළින් මනාව පැහැදිලි කරගත හැකිය.
ද.නි.ස. 316 වන වගන්තිය අනුව කැමැත්තෙන්ම බරපතල තුවාල සිදු කිරීමේ වරද සිදු කරන තැනැත්තෙකු අවුරුදු 07 දක්වා කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කරනු ලැබීමකට සහ දඩයකට යටත් විය යුතුය.
සිල්වා ඒ ගුණසේකර (1942 – 43 නනිවා 404) නඩුවේදී බරපතල තුවාල පිළිබඳ අර්ථ විග්රහ කරන ලදී. ඒ අනුව හුදෙක්ම දින 20 ක් රෝහල් ගතව සිටීම බරපතල තුවාලයක් සිදු වී ඇති බව නිශ්චය කිරීමට ප්‍රමාණවත් සාක්ෂියක් නොවේ. එම කාලය තුළ තමාට සාමාන්‍ය පරිදි වැඩ කටයුතු කර ගත නොහැකි වූ බව ද පෙන්විය යුතු වේ.
ක්‍රියාව ඇසට මිරිස් කුඩු දමා ගැසීමයි. එය දණ්ඩනීති සංග්‍රහයේ අලහකෝන් (1942) නඩුවේදී චූදිත විසින් සිදු කරනු ලැබූ අර්ථය තුළ බරපතල තුවාල සිදුකිරීමක් ලෙස සැලකිය නොහැකි බව තීරණය විය.
ද.නි.ස. 317 වන වගන්තිය අනුව අන්තරාදායක ආයුධ වලින් හෝ කුමවලින් කැමැත්තෙන්ම බරපතල තුවාල සිදු කළේ නම් අවුරුදු 10ක් දක්වා කාලයකට බරපතල වැඩ ඇතිව සිරගත කළ යුතු අතර දඩයකට ද යටත් විය යුතුය. (එලෙස තුවාල කළ හැකි ක්‍රම ඉහත පරිච්ඡේදයේ 315 වගන්තිය යටතේ විස්තර කළ ක්‍රමවලට සමාන වේ.)
බරපතල තුවාල කළේ බරපතල හා හදින් ප්‍රකෝප කිරීමක් මත නම් බන්ධනාගාර ගත කිරීමේ උපරිම කාලය වසර 04 ක් දක්වා අඩු වේ.
බරපතල තුවාල කිරීමේ වරද සඳහා වැඩි දඬුවම් ලැබෙන අවස්ථා
කැමැත්තෙන්ම බරපතල තුවාල සිදු කිරීමේ වරද සඳහා සමහර අවස්ථාවල දී වැඩි දඬුවම් ලැබේ. ද.නි.ස. 320 වන වගන්තිය අනුව දේපලක් පැහැර ගැනීම සඳහා හෝ නීතිවිරෝධී ක්‍රියාවක් බලෙන් කරවීම සඳහා කැමැත්තෙන්ම බරපතල තුවාල කරන තැනැත්තෙකු වසර 20 දක්වා කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාරගත කිරීමකට හා දඩයකට යටත් විය යුතු වේ. ද.නි.ස. 322 වන වගන්තිය අනුව වරද කියාපෑමත් (පාපොච්ඡාරණයක්) බලෙන් කරවීමට හෝ දේපලක් නැවතගැනීමට බල කර කැමැත්තෙන්ම බරපතල තුවාල සිදු කරන තැනැත්තෙකුට වසර 10ක් දක්වා කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාර ගත කිරීමෙන් දඬුවම් කළ යුතු අතර ඔහු දඩයකට ද යටත් විය යුතු වේ. දැ.නි.ස. 324 වන වගන්තිය අනුව රජයේ සේවකයෙකු තම යුතුකම ඉෂ්ඨ කරනු ලැබීමෙන් වැලැක්වීම සඳහා බරපතල තුවාල සිදු කරන තැනැත්තෙකුට අවුරුදු 10ක් දක්වා කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාර ගත කිරීමෙන් දඬුවම් කළ යුතු අතර ඔහු දඩයකට ද යටත් විය යුතුය.
උපුටා ගැනීම – https://www.facebook.com/srilankapoliceofficial/












