
රාජ්‍යයේ යහපැවැත්ම හා රටේ පොදු යහපත මෙන් ම වෘත්තීය ස්වාධීනත්වය තහවුරු වන ආකාරයට විගණකාධිපති තනතුර ස්ථාපනය කළ යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කියයි.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් සුනිල් ජයසේකර මහතාගේ අත්සනින් අද (16) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වේ.
එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.
රාජ්‍යයේ යහපැවැත්ම හා රටේ පොදු යහපත මෙන් ම වෘත්තීය ස්වාධීනත්වය තහවුරු වන ආකාරයට විගණකාධිපති තනතුර ස්ථාපනය කල යුතුව තිබේ
රාජ්‍ය මුල්‍ය මෙහෙයුම් සහ පොදු සම්පත් කළමනාකරණයේදි ප්‍රමුඛතම වගකිමක් දරන ආයතන ප්‍රධානියෙකු සහ විධායකයේ විනිවිදභාවය පරික්ෂා කරන යාන්ත්‍රණය වන විගණකාධිපති තනතුර මාස අටකට ආසන්න කාලයක් තිස්සේ පුරප්පාඩුව පැවතීම සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිය බරපතළ කණස්සල්ල පළ කරන්නෙමු.
එහිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත විධිවිධානයන්ට අනුව ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන නිර්දේශ අනුමත කිරීමක දී ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුකූලව රාජ්‍ය විගණන ක්රියාවලියෙහි ස්වාධිනත්වය තහවුරු වන ආකාරයට එකී තනතුර සදහා සුදුසු අයෙකු ව්‍යවස්ථා සභාව අනුමත කල යුතුව ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු.
එමෙන් ම විගණකාධිපති ධුරය සඳහා රජය හා විධායකය විසින් වැඩ බලන පදනමින් හා ස්ථිර පදනමින් පසුගිය කාලය තුළ නම් කරන ලද පුද්ගලයන් සම්බන්ධයෙන් සිය වගවිම මෙන් ම මහජන අභිලාෂයන් ද සැළකිල්ලට ගනිමින් ක්‍රියා කිරිම පිළිබඳව වත්මන් ව්‍යවස්ථා සභාව වෙත අපි අපගේ ප්‍රශංසාව පළ කරන්නෙමු.
මෙවැනි පරිසරයක් තුළ ස්ථිර පදනමකින් යුතුව විගණකාධිපති තනතුර සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් පරිබාහිර අයෙකු යෝජනා වන පසුබිමක ගරු ජනාධිපතිතුමා ප්රමුඛ රජයේ ද ව්‍යවස්ථා සභාවෙහි ද පොදු සමාජයෙහි ද අවධානයට යොමු විය යුතු කරුණු කිහිපයක් තිබේ.
එනම් විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ විගණකාධිපතිවරුන් සිය රාජකාරි වගකීම් ඉටු කර ඇති ප්‍රශංසනීය ඉතිහාසය සැළකීමේ දී එමඟින් ඉටු කර ඇති ජාතික වගකිම දුර්වල කිරිමට හේතු වන්නා වූ ඔීනෑම උත්සාහයක් ව්‍යර්ථ කිරීම සැළකිය යුත්තේ ද ජාතික වගකීමක් ලෙසට ය. ඒ් අනුව පුරප්පාඩු වී ඇති විගණකාධිපති තනතුර සඳහා අයෙක් තෝරා පත්කර ගත යුත්තේ ඒ් සඳහා අනුගමනය කල යුතුව ඇති පැහැදිලි නිර්ණායකයන්ට අනුගතව පමණක්ම ය.
එමෙන් ම එහි දි වඩාත්ම අවධානයට ලක්විය යුතුව ඇති කරුණ වන්නේ විගණකාධිපති තනතුර විධායකයේ අණට අවනත විය යුතු තනතුරක් නොව විධායක බලයෙන් ස්වාධීනව කටයුතු කල යුතුව ඇති ජාතික වගකීමක් සහිත ඉහළම වැදගත්කමක් දරණ තනතුරක් වන බවය.
එබැවින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ගරු ජනාධිපතිතුමාගෙන් ද ව්‍යවස්ථා සභාවෙන් ද ඉතාමත් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටින්නේ රාජ්‍යයේ යහපැවැත්මට සහ රටේ පොදු යහපතට තීරණාත්මක ලෙස ඉවහල් වන විගණකාධිපති තනතුර එකී ආයතනයේ ගෞරවයට හා ස්වාධීනත්වය හේතුවන ආකාරයට පත්කර ගත යුතුව ඇති බවය.












