
අද වනවිට අපට මුහුණ දීමට සිදු වී ඇති ප්‍රධාන අභියෝගයක් වන්නේ දත්ත විසිරී තිබීම, පද්ධති එකිනෙක සම්බන්ධ නොවීම සහ තීරණ ගැනීම සඳහා විශ්වසනීය යාවත්කාලීන දත්ත නොලැබීම බව කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග සහ ඉඩම් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසුවේය.
කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කෘෂිකර්ම අංශයේ ඩිජිටල් පද්ධති අතර අන්තර් ක්‍රියාකාරීත්වය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රගති සමාලෝචනය රැස්වීමේ දීය. මෙම රැස්වීම (16) බත්තරමුල්ල ගොවිජන මන්දිරයේදී පැවැත්විණ.
කෘෂිකර්ම අංශයේ ඩිජිටල් පද්ධති අතර අන්තර් ක්‍රියාකාරීත්වය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව්‍යාපෘතිය 2023 වසරේදී අරම්භ විය. මෙම ව්‍යාපෘතියට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය මෙන්ම වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ ධීවර අමාත්‍යාංශය ද සම්බන්ධ විය. මෙහිදී දත්ත හුවමාරුවේ වැදගත්කම මෙන්ම හුවමාරු කරන දත්තවල නිරවද්‍යතාවය සම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර, මේ සඳහා සියලු ආයතන එකට එක්ව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණි.
මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ කෘෂිකර්ම අමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය, “අපගේ කෘෂිකර්ම අංශය ආහාර සුරක්ෂිතතාව ගොවි ජනතාවගේ ජීවනෝපාය සහ ජාතික ආර්ථික ස්ථායීතාවය සඳහා මූලික අංශයක්. එවැනි වැදගත් අංශයක් වශයෙන් අද වනවිට අපට මුහුණ දීමට සිදු වී ඇති ප්‍රධාන අභියෝගයක් වන්නේ දත්ත විසිරී තිබීම, පද්ධති එකිනෙක සම්බන්ධ නොවීම සහ තීරණ ගැනීම සඳහා විශ්වසනීය යාවත්කාලීන දත්ත නොලැබීම යන කරුණුයි.
මෙම අභියෝග ජය ගැනීම සඳහා තාක්ෂණය පමණක් නොව ප්‍රතිපත්තිමය වෙනසක්, සංස්කෘතික වෙනසක් සහ ආයතන අතර සහයෝගීත්වයක් අවශ්‍ය බව අප සැම අවබෝධ කර ගත යුතුයි.
එම අවශ්‍යතාවය සලකා බැලීමෙන් කෘෂිකර්ම අංශය සඳහා ව්‍යාපාරික ව්‍යූහ සැලැස්ම (Enterprise Architecture) සහ අන්තර් ක්‍රියාකාරීත්ව රාමුවක් (Interoperability Framework) සංවර්ධනය කිරීම අපගේ රජයේ ප්‍රධාන උපායමාර්ගික පියවරක් ලෙස සිදුකර ඇත. මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තාක්ෂණික සහයෝගය යටතේ රජයට අමතර වියදමක් නොමැතිව සාර්ථකව ක්‍රියාත්මක වූ ජාතික මට්ටමේ වැදගත් ජයග්‍රහණයක්.
මෙම රාමුව හරහා කෘෂිකර්ම අංශයට අදාළ සියලු ඩිජිටල් පද්ධති අතර ආරක්ෂිත, සම්මත සහ විශ්වාසනීය දත්ත හුවමාරුවක් ස්ථාපිත කරමින් දෙපාර්තමේන්තු අතර සිදුවන වැඩකටයුතු වඩා කාර්යක්ෂමව, පාරදෘශ්‍ය සහ ප්රතිඵලදායී ලෙස ඉදිරියට ගෙනයාම අපගේ අරමුණු වේ.
මේ වනවිට දෙපාර්තමේන්තු මට්ටමින් දත්ත බෙදා ගැනීමේ ප්‍රතිපත්ති සංවර්ධනය කිරීම, ප්‍රධාන රෙජිස්ට්‍රි හඳුනා ගැනීම හා සංවර්ධනය කිරීම සහ API නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ වී තිබෙනවා. එහෙත් මෙය තාක්ෂණික ව්‍යාපෘතියක් පමණක් නොව ආයතන ප්‍රධානීන්ගේ සෘජු නායකත්වය හා වගකීම මත සාර්ථක වන ජාතික වැඩසටහනක් බව අවධාරණය කරනවා.
මෙම රැස්වීමේදී මේ දක්වා ලබා ඇති ප්‍රගතිය සමාලෝචනය කරමින් අප මුහුණ දෙන ගැටළු හා අභියෝග විවෘතව සාකච්ඡා කර, ඒ සඳහා ක්‍රියාත්මක විය හැකි විසඳුම් පිළිබඳ එකඟතාවයන් ලබා ගැනීම අපගේ ප්‍රධාන අරමුණයි.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සෑම ආයතනයක්ම තමන්ගේ දත්ත ජාතික සම්පතක් ලෙස සලකා එය වගකීමෙන් නීතිමය රාමුව තුළ බෙදා ගැනීමට සූදානම් විය යුතුයි. එසේ නොමැති නම් අපට ගොවි ජනතාවට අවශ්‍ය සේවාවන් කාලෝචිතව සහ නිවැරදිව ලබා දීම අපහසු වනු ඇත.
අවසානයේදී මෙම වැඩසටහන සඳහා අඛණ්ඩ සහයෝගය ලබාදෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයට, මෙය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා කැපවී කටයුතු කරන ලේකම්තුමාට, නිලධාරී මණ්ඩලයට සහ සියලු සම්බන්ධ ආයතනවලටත් මාගේ හෘදයාංගම ස්තූතිය පුද කරනවා. අද දින සිදු වන සාකච්ඡා ප්‍රායෝගික තීරණවලට හා ක්‍රියාත්මක විය හැකි ක්‍රියාමාර්ගවලට මඟ පෙන්වනු ඇතැයි විශ්වාස කරමින් ඔබ සැමගේ සක්‍රීය සහයෝගය අපේක්ෂා කරමි.
















