‘දිට්වා‘ සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ ඉඩම් පිළිබඳව සංගණනයක් කිරීමට ඉඩම් කොම්සාරිස් දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබෙන බව ඉඩම් කොමසාරිස් ජනරාල් චන්දන රණවීර ආරච්චි මහතා සඳහන් කරයි.
ඒ අනුව, නායයෑමට ලක් වූ ඉඩම් රක්ෂිත බවට පත් කිරීමෙන් පසු එම ඉඩම් නැවත මැනීම් කටයුතු සිදුකළ යුතු බව ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.
මෙම මැනීම් කටයුතු අනුව අවදානම් කලාප තුළ පිහිටි ඉඩම් රක්ෂිත බවට පත් කිරීමට තීරණය කළොත් දීමනා බලපත්‍රයක් හිමි එම ඉඩම් සඳහා වටිනාකම තක්සේරු කර වන්දි මුදලක් හෝ නැවත ඉඩමක් ලබාදීමට ඉඩම් කොම්සාරිස් දෙපාර්තමේන්තුව පියවර ගන්නා බවත් අදාළ ඉඩම් සම්බන්ධයෙන් අදාළ දිස්ත්‍රක්කවල දිසාපතිවරුන්ගෙන් තොරතුරු කැඳවා ඇති බවත් ඔහු පැවසුවේය.
රජයේ ඉඩම්වල අනවසරයෙන් පදිංචි වී සිටින විපතට පත් පවුල් සඳහා ද මෙම ක්‍රියාමාර්ගය ම ගැනීමට දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබෙන බව ද මේ සම්බන්ධයෙන් දැනටමත් ආපදාවට ලක් වූ දිස්ත්‍රික්කයන්හි ඉඩම් කාර්යාල වෙත දන්වා යවා ඇති බව ද චන්දන රණවීර ආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.












