ශ්‍රී ලංකා යොවුන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ පැවැති තුන්කොන් විස්සයි-20 තරගාවලිය අපරාජිතව අවසන් කිරීම, ජයග්‍රහණයකට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකරගෙන යනු ලබන ජාතික මට්ටමේ ක්‍රිකට් සංවර්ධන වැඩසටහන්වල සාර්ථකත්වය පිළිබිඹු කරන විශේෂ අවස්ථාවක් ලෙස සැලකිය හැක. විශේෂයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් මෙරට සිතියම පුරාම ක්‍රියාත්මක කරන ජාතික ක්‍රිකට් ගමන් මග “ක්‍රිකට් ගමට” වැඩසටහනේ ප්‍රතිඵල මෙම ජයග්‍රහණය තුළින් පැහැදිලිව දිස්වෙයි.
ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරයේ බිල් පිපේන් ඕවල් පිටියේ පැවැති අවසන් තරගයේදී සත්කාරක ඔස්ට්‍රේලියානු පිලට එරෙහිව ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම ලකුණු 3 ක තියුණු ජයක් වාර්තා කරමින් තරගාවලියේ සියලු තරග 4 ම ජයගත් එකම අපරාජිත කණ්ඩායම බවට පත්විය. එම ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමේ තරුණ ක්‍රීඩිකාවන්ගේ හැකියාව, ශක්තිය සහ නිවැරදි පුහුණු ව්‍යුහයක ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැක.
මෙම ජයග්‍රහණයේ විශේෂත්වය වන්නේ, ඔස්ට්‍රේලියානු යොවුන් කාන්තා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කළ පිට පිට 8 වැනි විස්සයි-20 ජයග්‍රහණය වීමයි. මෙය දෙරට අතර යොවුන් මට්ටමේ තරග ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන අතර, ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායමේ නිරන්තර වර්ධනය සහ ස්ථාවර කාර්ය සාධනය ඉතා පැහැදිලිව පෙන්නුම් කරන්නකි.
මෙම සාර්ථකත්වය පිටුපස ඇති ප්‍රධාන බලවේගය වන්නේ “ක්‍රිකට් ගමට” වැඩසටහනයි. ග්‍රාමීය මට්ටමින් දක්ෂතා හඳුනා ගැනීම, පාසල් සහ දිස්ත්‍රික් සහ පළාත් ක්‍රිකට් සංගම් හරහා ක්‍රීඩිකාවන්ට අවස්ථා සැලසීම, සහ වෘත්තීය පුහුණු පද්ධති හඳුන්වා දීම හරහා මෙම වැඩසටහන කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රයට නව පරපුරක් ගොඩනගමින් සිටී. මෙම තරගාවලියේදී කැපී පෙනුණු ක්‍රීඩිකාවන් බොහෝදෙනාම එවැනි ග්‍රාමීය මට්ටමේ සංවර්ධන ක්‍රියාවලීන් තුළින් ඉදිරියට පැමිණි ක්‍රීඩිකාවන් වීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම 2020 වසරේ ස්ථාපනය කිරීමෙන් අනතුරුව එම කණ්ඩායමට කොළඹින් පිටතින් නායිකාවක් පත් කරන ලද පළමු අවස්ථාව ලෙසින් චමෝදිගේ පත් කිරීම සඳහන් කළ හැක. තවමත් අවුරුදු 16 විය ගෙවා දමමින් සිටින චමෝදි වමතින් දඟ පන්දු යවන ක්‍රීඩිකාවකි. වමතින් පිත්ත හසුරුවන ඇය වයස අවුරුදු 14 ක් තරමේ සිටම බාළිකා කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබූ ක්‍රීඩිකාවකි.
‘බට්ටි’ යන සුරතල් නාමයෙන් හඳුන්වන චමෝදි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රියාත්මක කරන ‘ක්‍රිකට් ගමට’ වැඩසටහන යටතේ හඳුනාගත් දක්ෂ ක්‍රීඩිකාවකි. රට පුරා දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම සඳහා සකස් කළ මෙම ජාතික වැඩසටහනේ සාර්ථකත්වයට ඇය හොඳ උදාහරණයක් ලෙස සැලකේ.
මෙම කණ්ඩායමට කොළඹ ප්‍රදේශයෙන් ඇතුළත් වී සිටින්නේ ක්‍රීඩිකාවන් තිදෙනෙකු පමණක් වන අතර, අනෙකුත් සියලුම ක්‍රීඩිකාවන් කොළඹින් පිට ප්‍රදේශවලින් තේරී පත්ව තිබීම විශේෂත්වයකි. ත්‍රිකුණාමලය, රත්ගම, අම්පාර, කුරුණෑගල, මහනුවර, මාතර, පුත්තලම සහ පොලොන්නරුව යන ප්‍රදේශවලින් ක්‍රීඩිකාවන් කණ්ඩායමට ඇතුළත් වී සිටිති.
මෙම ජයග්‍රහණය ක්‍රීඩා ඉතිහාසයේ තවත් පිටුවක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සංවර්ධනය සඳහා ගත් දිගුකාලීන සැලසුම්වල සාර්ථකත්වය තහවුරු කරන ප්‍රායෝගික සාක්ෂියකි. “ක්‍රිකට් ගමට” වැඩසටහන හරහා ග්‍රාමීය ප්‍රදේශවලින් ඉදිරියට එන තරුණ ක්‍රීඩිකාවන්ට ලැබෙන අවස්ථා සහ නිසි මඟ පෙන්වීම, ඉදිරියේදීද මෙවැනි ජයග්‍රහණ රැසක් බිහිකිරීමට හේතු වනු ඇත.
මූලාශ්‍රය – ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවිය















