පානදුර මාදුපිටිය පාර, මහවිල ප්‍රදේශයේ පුද්ගලයෙකු හා ඔහුගේ ඥාතීන් පිරිසක් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් හා නීති විරෝධී ආකාරයෙන් උපයා ගන්නා ලද මුදලින් දේපල මිලදී ගෙන ඇති බවට ලද පැමිණිල්ලක් සම්බන්ධව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ නීතිවිරෝධී වත්කම් කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කරන ලදී.
විමර්ශනය අනුව සැකකරු හා ඥාතීන් නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරමින් උපයා ගත් මුදල් යොදවා දේපළ උපයාගෙන ඇති බවත්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ සඳහන් වැරදි සිදුකර ඇති බවත් පිලිගත හැකි සාක්ෂි මගින් අනාවරණය වී ඇත.
ඒ අනුව, 2026.03.13 වන දින සැකකාරියක් හා 2026.04.02 වන දින තවත් සැකකාරියක්ද අත්අඩංගුවට ගෙන පානදුර ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
තවද, වෙනත් මත්ද්‍රව්‍ය නඩු කටයුත්තක් සඳහා රක්ෂිත බන්ධනාගාරව සිටි ඉහත සැකකාරියන්ගේ ඥාතීන් වන තවත් සැකකාරියන් දෙදෙනෙකු, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් යොදවා දේපළ උපයා ගැනිම සම්බන්ධයෙන් පවත්වාගෙන යනු ලබන මෙම නඩු කටයුත්ත සඳහා බන්ධනාගාරය මඟින් ඉදිරිපත් කිරීමෙන් පසු නැවත 2026.05.13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
අත්අඩංගුවට ගන්නා ලද සැකකාරියන් අවුරුදු 28 හා 53 වයස්වල පසුවන මාදුපිටිය, මහවිල ප්‍රදේශයේ පදිංචිකාරියන්ය.
මූලික විමර්ශනයේදී ඉහත සැකකරු හා සැකකාරියන් විසින් නීති විරෝධි ආකාරයෙන් උපයා ගන්නා ලද මුදලින් මිලදී ගෙන ඇති බවට කරුණු අනාවරණය වූ පානදුර මහවිල ප්‍රදේශයේ පිහිටි ඉදි කරමින් පවතින නිවසක් හා ඊට අයත් ඉඩම, පානදුර කුරුස හන්දියේ පිහිටි පර්චස් 10.75 ඉඩම පානදුර මාදුපිටිය ප්‍රදේශයේ පිහිටි ඉදි කරමින් පවතින නිවසක්, එකී දේපළ කිසියම් තැනැත්තෙකුට විකිණීම හෝ පැවරීම හෝ වෙනයම් ක්‍රියාදාමයක් සිදුකිරීම වැළැක්වීම පිණිස මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ සඳහන් ප්‍රතිපාදන ප්‍රකාරව ක්‍රියා විරහිත කිරිමේ නියෝග නිකුත් කර ඇත.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ නීති විරෝධි වත්කම් විමර්ශන අංශය විසින් මීට සම්බන්ධ තවත් සැකකරුවන් සොයා වැඩිදුර විමර්ශන සිදුකරයි.














