අල්ලස් කොමිෂමෙන් සිතාසි නිකුත් කිරීම ගැන මහින්දගේ මාධ්‍ය ප්‍රකාශකගෙන් නිල නිවේදනයක්

එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙතෙක් කිසිදු නිල නොතීසියක් හෝ දැනුම්දීමක් ලැබී නොමැති බව මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ මහතා අද (03) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සහන් වේ.

රාජපක්ෂ පාර්ශ්වය මෙවැනි දේශපාලන කටයුතුවලට බිය නොවන බවත්, අවශ්‍ය අවස්ථාවලදී නීත්‍යානුකූලව ඒ සඳහා ප්‍රතිචාර දක්වන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

අල්ලස් කොමිසම රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් ඉතා උනන්දුවෙන් කටයුතු කළ ද වත්මන් රජයට එල්ල වී ඇති ගල්අඟුරු වංචාව, කන්ටේනර් ගනුදෙනු සහ ඩොලර් වංචා වැනි බරපතළ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ නොකිරීම ගැටලුවක් බව ද නීතිඥ මනෝජ් ගමගේ මහතා සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත.

මනෝජ් ගමගේ මහතා වැඩි දුරටත් සඳහන් කරන්නේ වත්මන් ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී ලැබීමට නියමිත අධිකරණ තීන්දු පිළිබඳව පූර්ව නිගමන ප්‍රකාශ කිරීම අධිකරණයට කරන අපහාසයක් සහ විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමක් ලෙස සැලකිය හැකි බවයි.

අල්ලස් කොමිසම කටයුතු කරන්නේ මහජන බදු මුදලින් මිස පාලකයන්ගේ මුදලින් නොවන බවත්, දේශපාලන දඩයම්වලට ප්‍රමුඛත්වය ලබා නොදී අනෙකුත් මහා පරිමාණ වංචා පිළිබඳවද ස්වාධීනව පරීක්ෂණ පවත්වන්න ලෙසත් මෙම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website