කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – ඉන්දියා දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (24 දා) තරගය අවසන් වන විට ශ්‍රී ලංකාව දැඩි අභියෝගයකට මුහුණ දී සිටියේය. ඉන්දියාව කඩුලු 9කට ලකුණු 503ක් රැස් කරමින් සිය ඉනිම අත්හිටුවීමෙන් අනතුරුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 2ක් දිනය අවසන් වීමට පෙර දවා ගැනීමට ඉන්දියානු පන්දු යවන්නෝ සමත් වූහ.
ඉන්දියාව රැස් කළ ලකුණු 503ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාවට මේ වන විට ලකුණු 8කට කඩුලු 2ක් අහිමි වී තිබේ. ඒ අනුව ඉන්දියාවට එරෙහිව පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවදානමෙන් මිදීමට ශ්‍රී ලංකාව ඉතිරි කඩුලු 8 තුළ තවත් ලකුණු 296ක් රැස් කළ යුතුය. ඒ සඳහා ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමේදී අවම වශයෙන් ලකුණු 304ක් ලබාගත යුතු වේ.
වර්ෂාව සහ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් දිනයේ ක්‍රීඩා කාලය සීමා වූ අතර, තරගය නතර කරන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කමිල් මිෂාර කඩුල්ලේ රැඳී සිටියේය.
ලකුණු 503ක දැවැන්ත ඉලක්කයක් හමුවේ ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ මංගල ටෙස්ට් තරගයට සහභාගිවෙමින් සිටින කමිල් මිෂාර සහ ළහිරු උදාර විසිනි. ළහිරු උදාරට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත.
ප්‍රසිද් ක්‍රිෂ්ණා යැවූ පන්දුවකට ආරක්ෂිත පහරක් එල්ල කිරීමට උත්සාහ කළ අවස්ථාවේ උදාරගේ පිත්තේ ඉදිරි දාරයේ වැදුණු පන්දුව ගලි ප්‍රදේශයට ඉහළින් ගිය අතර, එහි පන්දු රකිමින් සිටි යෂස්වි ජයිස්වාල් දකුණට පනිමින් විශිෂ්ට උඩපන්දුවක් රැක ගැනීමත් සමඟ උදාර දැවී ගියේය.
ශ්‍රී ලංකා ඉනිම තවත් අසීරු කරමින් සැඳෑ පිතිකරු ලෙස පිටියට පැමිණි ප්‍රභාත් ජයසූරිය ද මනව් සුතර්ගේ පන්දුවකට දැවී ගියේය. පන්දුව පාදයේ වැදීම සම්බන්ධයෙන් ප්‍රධාන විිනසුරු ලබා දුන් තීරණය ජයසූරිය අභියෝගයට ලක් කළ නමුත්, පන්දුව කඩුල්ලේ වැදෙන බවට වූ විනිසුරු තීරණය තහවුරු වීමත් සමඟ එම තීරණයේ වෙනසක් නොවීය.
ඒ අනුව දිනය අවසන් වන විට ශ්‍රී ලංකාවට කඩුලු දෙකක් අහිමි වී තිබූ අතර, මංගල ටෙස්ට් තරගයට එක්වූ කමිල් මිෂාර නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය.
ඉන්දියානු ඉනිම ලකුණු 503ක් දක්වා ඉහළ නැංවීමට ධෘව් ජුරෙල්ගේ විශිෂ්ට ශතකය ප්‍රධාන හේතුවක් විය. පන්දු 177කට මුහුණ දුන් ජුරෙල් ලකුණු 115ක් රැස් කරමින් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවැනි ශතකය වාර්තා කළේය.
ජුරෙල් සමඟ එක්ව රිෂාබ් පන්ට් ද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් පන්දු 89කදී ලකුණු 63ක් රැස් කළේය. ඔවුන් දෙදෙනා අතර ලකුණු 112ක සබඳතාවක් ගොඩනැගුණු අතර, එය පන්දු 152කදී වාර්තා විය.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ඉන්දීය පිතිකරුවන් පාලනය කිරීම අසීරු වූ අතර, විශේෂයෙන්ම ජුරෙල් ඉතා සංයමයෙන් ක්‍රීඩා කරමින් ඉනිම ගොඩනැගීය. අසිත ප්‍රනාන්දු ඉන්දීය ඉනිමේ කඩුලු 4ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූවේය.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමෙන් අනතුරුව පන්දු දෙකක් පමණක් යැවීමෙන් පසු මද වැසි හේතුවෙන් තරගය නතර කිරීමට සිදුවිය. පසුව පස්වරු 5.35ට පමණ තරගය යළි ආරම්භ කළද, ක්‍රීඩා කළ හැකි වූයේ පන්දුවාර තුනක් පමණි.
ආලෝක තත්ත්වය ක්‍රමයෙන් දුර්වල වීම හේතුවෙන් විනිසුරුවන් තරගය නතර කිරීමට තීරණය කළහ. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ද ආලෝක තත්ත්වය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම විනිසුරුවන්ගේ අවධානය යොමු කළහ.
හෙට තරගයේ තෙවැනි දිනයයි.
ඉන්දියාව පළමු ඉනිම පන්දුවාර 138 කදී කඩුලු 9 ට ඉනිම අත්හිටුවන විට ලකුණ 503 යි –
දේව්දත් පඩික්කාල් 117, ශුබ්මන් ගිල් 50, රවීන්ද්‍ර ජඩේජා 43, යශස්වි ජයිස්වාල් 45, කේ.එල්. රාහුල් 18, රිෂාබ් පාන්ට් 63, රවීන්ද ජඩේජා 43, ධෘෘව් ජුරෙල් 115*, සාරාන්ෂ් ජේන් 06,මානව් සුතර් 18, මොහොමඩ් සිරාජ් 03, ප්‍රසිද් ක්‍රිෂ්ණා 04*, අසිත ප්‍රනාන්දු 106/4, ප්‍රභාත් ජයසූිය 132/2, කේෂර නුවන්ත 154/2, ළහිරු කුමාර 68/1)
ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 03 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 08 යි
(ළහිරු උදාර 01, කමිල් මිශාර 05*, ප්‍රභාත් ජයසූරිය 02, ප්‍රසිද් ක්‍රිෂ්ණා 01/1, මානව් සුතර් 06/1)
source: srilankacricket,lk








