ආගමික උමතුවේ නාමයෙන් කෙන්යාවේ මහා වනාන්තරයක සිදු වූ බිහිසුණු සමූහ ඝාතනය: යේසුස් වහන්සේ හමුවීම එකම අරමුණයි

කෙන්යාවේ අධිකරණයක් විසින් ‘ලෝක විනාශය පිළිබඳ ක්‍රිස්තියානි නිකායක’ නායකයා තම අනුගාමිකයින් 123 දෙනෙකු ඝාතනය කිරීමේ වරදට වරදකරු කර තිබේ.

2021 ජනවාරි සිට 2023 සැප්තැම්බර් දක්වා වෙරළට ආසන්න ෂකහෝලා වනාන්තරයේ දී, වැඩිහිටියන් වන ඔහුගේ අනුගාමිකයින්ට මාරාන්තික උපවාසයක් කිරීමට නියෝග කිරීම සම්බන්ධයෙන් මොම්බාසා හි දී පෝල් මැකෙන්සි වරදකරු බවට පත් විය.

මේ මස මුලදී මැකෙන්සිට වසර 200 ක සිර දඬුවමක් නියම වූ අතර, එම සමූහ ඝාතනයේදී එක් අයෙකු හැර අනෙක් සියල්ලන්ම ළමයින් වූ අතර, ඒ සම්බන්ධයෙන් ඔහුට වසර 200 ක සිර දඬුවමක් නියම විය.

මැකෙන්සි මනුෂ්‍ය ඝාතනයට වරදකරු නොවන බව පිළිගෙන ඇති අතර, ඔහුගේ නීතිඥයෙකු පැවසුවේ දඬුවම් නියම කිරීමෙන් පසු අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.

මැකෙන්සිගේ බිරිඳ රෝඩා මුම්බුවා මාවු ඇතුළු තවත් 29 දෙනෙකු ද මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ බවට අධිකරණය විසින් වරදකරුවන් කරන ලද අතර  විත්තිකරුවන් 60 නිදොස් කොට නිදහස් කරන ලදී. ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව රජයේ නඩු පවරන අධ්‍යක්ෂවරයා පැවසීය.

2023 දී ඉන්දියානු සාගර වෙරළට ආසන්නයේ ෂකහෝලා වනාන්තරයේ නොගැඹුරු සොහොන් බිම්වලින් මළ සිරුරු 400 කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමෙන් පසු දේවගැතිවරයා අත්අඩංගුවට ගන්නා ලදී.

මැකෙන්සි “ඔහුගේ අනුගාමිකයින් මිය යන තුරු උපවාස කිරීමට ක්‍රමානුකූලව පෙළඹවූ” බව අධිකරණය විසින් සොයා ගත් බව කෙන්යාවේ මහජන නඩු පවරන අධ්‍යක්ෂ කාර්යාලය නඩු තීන්දුව පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

“පළමුව ළමයින් යා යුතු විය, පසුව කාන්තාවන් සහ පසුව පිරිමින් යා යුතු විය. මැකෙන්සි ද අවසානයේ මිය යාමට නියමිතව සිටියේය,” කාර්යාලය පැවසීය.

“යේසුස් වහන්සේ හමුවීම” සඳහා මැකෙන්සි සහ ඔහුගේ සහචරයින් සියදිවි නසාගැනීමේ ගිවිසුමක කොටසක් ලෙස එක්ව ක්‍රියා කර ඇති බවට පැමිණිල්ලේ තර්කය විය.

අධ්‍යාපනය, වෛද්‍ය විද්‍යාව සහ ආභරණ පාපකාරී බව ඔහු දේශනා කළ බවට සාක්ෂිකරුවන් සාක්ෂි දුන්හ.

ඔහුගේ ඉගැන්වීම්වලට විරුද්ධ වූවන්ට පහර දී මරා දැමූ බව අධිකරණයේ දී හෙළි වූ අතර වින්දිතයින් තමන්ගේම කැමැත්තෙන් උපවාස කළ බව විත්තිකරුවන් කියා සිටියහ.

මෙම සතිය මුලදී, මැකෙන්සි ද පහත සඳහන් චෝදනාවලට වරදකරු කරනු ලැබීය:

  • දරුවෙකුට සැබෑ ශාරීරික හානියක් සිදු කරන පහරදීමක් සහ කෲරත්වය පිළිබඳ චෝදනා පහක්
  • සංවිධානාත්මක අපරාධ කටයුතුවල නියැලීම
  • රැඩිකලීකරණය
  • ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදුකිරීමට පහසුකම් සැලසීම
  • 2012 කෙන්යාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඇති වරදක් හා සම්බන්ධ ලිපියක් සන්තකයේ තබා ගැනීම.

මැකෙන්සි 2003 දී Good News International Ministries ආරම්භ කළේය. ඊළඟ වසර 16 තුළ, කෙන්යාව පුරා ශාඛාවලට දහස් ගණනක් අනුගාමිකයින් ආකර්ෂණය කර ගැනීම පල්ලිය සමත් විය.

Times TV නමින් හැඳින්වෙන රූපවාහිනී නාලිකාවක් ඔහුගේ දේශන මලින්ඩි නිවාඩු නිකේතනයේ පිහිටි ඔහුගේ පල්ලියේ සිට විකාශනය කළේය.

ඔහුගේ අවසන් දින දේශනාවලට අධ්‍යාපනය “නපුර” ලෙසත්, සෞඛ්‍ය සේවාව “ධර්මයට පටහැනි” ලෙසත්, ඩිජිටල් හැඳුනුම්පත් “යක්ෂයාගේ සලකුණ” ලෙසත් විස්තර කරන කුමන්ත්‍රණ න්‍යායන් ඇතුළත් විය.

2019 දී ප්‍රධාන පල්ලිය වසා දැමීමෙන් පසු, මැකෙන්සි ෂකහෝලා වනාන්තරයට ගොස් තම බැතිමතුන්ට තමා අනුගමනය කරන ලෙස දිරිමත් කළේය.

මෙම ප්‍රජාව විස්තර කරනු ලැබුවේ විශාල වනාන්තරය පුරා විසිරී ඇති මැටි නිවාස ලෙසය.

“අපි සාමාන්‍ය නිහඬ ජීවිතයක් ගත කළා, දින කිහිපයක් නිරාහාරව ඉඳලා සුළු ආහාර වේලක් ගත්තා,” අසනීප වීමෙන් පසු බේරාගත් දිවි ගලවා ගත් පීටර් ශුක්‍රානි පැවසීය.

නොගැඹුරු සොහොන් සොයා ගත් විට, දේහය ගොඩ ගැනීමේ භයානක කාර්යය සඳහා ප්‍රදේශවාසීන් බඳවා ගන්නා ලදී.

“අපිට හමු වූ සෑම සොහොනකම අවම වශයෙන් මළ සිරුරු තුනක් තිබුණා. සමහර දේහයන් සති කිහිපයක් තරම් කුඩා දරුවන්ගේ.” සොහොන් හාරන්නන්ගෙන් එක් අයෙකු වන ජේම්ස් පැවසීය.

“අපිට එක පාරක් සොහොනක් ඇතුලේ එක පෙළට ළමා මළ සිරුරු 12ක් හමු වුණා. ඒක හරිම දැවැන්තයි, මළ සිරුරු ඇඳුම් වගේ පිළිවෙළට තිබ්බා. එකක් උඩ එකක්.” ඔහු වැඩි දුරටත් පැහැදිලි කළේය.

සොහොන් හාරන්නන් විස්තර කළේ සමහර දරුවන්ගේ සිරුරු “අත් සහ කකුල් බැඳ දමා තිබූ අතර සිරුරු ඇඳ ඇතිරිලිවලින් ඔතා තිබූ” බවයි.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවලින් පෙනී ගියේ බොහෝ වින්දිතයින් කුසගින්නෙන් මිය ගොස් ඇති බවයි. අනෙක් අයගේ දේහයන් බොහෝ දුරට අස්ථි කොටස් වූ අතර එම නිසා ඔවුන්ගේ මරණයට හේතුව තහවුරු කර ගැනීමට නොහැකි විය.

48 හැවිරිදි ස්ටීවන් ම්විටි පැවසුවේ තම දරුවන් හය දෙනාම නිකායට අහිමි වූ බවයි. ඔහුගේ පෙර බිරිඳ මැකෙන්සි සමඟ මිනීමැරුම් චෝදනාවලට වරදකරු වූ අයගෙන් කෙනෙකි.

“සියලුම පුද්ගලයින් වරදකරුවන් වීම ගැන මම සතුටු වෙනවා,” ඔහු පැවසුවේය.

“මගේ දරුවන් හයදෙනාම ෂකහෝලා වනාන්තරයේදී මිය ගියා. මම මගේ පුත් සැමුවෙල්ගේ දේහය සොයාගෙන භූමදාන කළා විතරයි.”

මෙම මරණ, තක්කඩි ආගමික ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීමේ ඌනතාවය සහ ඒවා මෙතරම් කාලයක් පවත්වාගෙන යාමට හැකි වූයේ කෙසේද යන්න පිළිබඳ ගැටලු ඉස්මතු කර තිබේ.

නඩුවේ බරපතලකම නිසා ජනාධිපති විලියම් රූටෝ විමර්ශන කොමිසමක් පත් කළ නමුත් පසුව එය ව්‍යවස්ථා විරෝධී යැයි ප්‍රකාශ කරන ලදී.

මූලාශ්‍රය: බීබීසී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website