පිළිකා ප්‍රතිකාර සේවා සැමට සමානව සහ ගුණාත්මකව ලබා දීම රජයේ ප්‍රමුඛ වගකීමක් – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

අත්‍යවශ්‍ය වෛද්‍ය සේවාවන් ලබා ගැනීමේ හැකියාව පුද්ගලයෙකුගේ ආදායම හෝ සමාජ තත්ත්වය මත තීරණය නොවිය යුතු බවත්, සෞඛ්‍ය සම්පන්න සහ වඩාත් සාධාරණ සමාජයක් ගොඩනැගීම රජයේ දැක්ම බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය (SLCO) සහ දකුණු ආසියානු පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය සම්මේලනය (SAFO) එක්ව සංවිධානය කළ වාර්ෂික ශාස්ත්‍රීය සැසිවාරයට ඊයේ (27) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී සහභාගී වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

මෙම සැසිවාරයට සමගාමීව නව සභාපතිවරයා පත්කිරීම සහ වෛද්‍ය කුමාර් වීරසේකර අනුස්මරණ දේශනය ද පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ ද පැවසුවාය,

ජීවිතයේ සෑම අවධියකදීම ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සඳහා සමාන ප්‍රවේශයක් සහතික කිරීමට නම් මෙවැනි අවස්ථා ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වගකීමක් . පිළිකා ප්‍රතිකාර කියන්නේ එකී වගකීමේ වැදගත් කොටසක්.

ප්‍රතිකාරවලින් ඔබ්බට ගොස් වැළැක්වීම, කල්තියා හඳුනාගැනීම, රෝග නිර්ණය, පුනරුත්ථාපනය, පිළිකාව ජයගැනීමෙන් පසු රැකවරණය සහ සහන සත්කාර යන සියල්ල ආවරණය වන පරිදි පුළුල් ප්‍රවේශයක් ඒ සඳහා අවශ්‍යයි.

මගේ පවුලටත් පිළිකා රෝගය පිළිබඳ අත්දැකීම් තිබෙනවා.

මගේ මවගේ බාලම සහෝදරිය වසර කිහිපයකට පෙර පිළිකාවකින් මිය ගියා. නමුත් මගේ මවගේ අනෙක් සහෝදරිය පිළිකාව ජයගත් අයෙක්. ඒ නිසා පවුලේ කෙනෙකුට පිළිකාවක් වැළඳුණු විට ඇතිවන පීඩනය, එම පුද්ගලයා විඳින වේදනාව බලා සිටීමේ දුක සහ ඊළඟට කළ යුත්තේ කුමක්දැයි නොදැන සිටීමේ අසරණභාවය මට හොඳින් තේරෙනවා.

විශේෂයෙන් තීරණ ගැනීමේදී රෝගියා කේන්ද්‍ර කර ගැනීම සහ මෙම සමස්ත ක්‍රියාවලියට ප්‍රජාවගේ සහභාගීත්වය ලබා ගැනීම ඉතා වැදගත්.

පිළිකාව පුද්ගලයින්ට පමණක් නොව ඔවුන්ගේ පවුල්වලට, ප්‍රජාවන්ට සහ සමස්ත ආර්ථිකයට ද බලපාන, වැඩිවෙමින් පවතින මහජන සෞඛ්‍ය අභියෝගයක්. එය සෞඛ්‍ය සේවාවේ විශාල ඉල්ලුමක් ඇති කරනවා වගේම පවුල්වලට මූල්‍ය පීඩනයක් ද එල්ල කරනවා. ඒ සියල්ලටම වඩා ගැඹුරු මානුෂීය හානියක් ඒ හරහා සිදු කරනවා.

මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා පිළිකා වැළැක්වීම සහ කල්තියා හඳුනාගැනීම මූලික කරගත්, සම්බන්ධීකරණය වූ, සාක්ෂි මත පදනම් වූ සහ ජනතා කේන්ද්‍රීය ජාතික වැඩපිළිවෙළක් අවශ්‍යයි.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය තුළදීම පිළිකා අවදානම් හඳුනා ගැනීමට, සුදුසු පරීක්ෂණ සඳහා පහසුකම් සැලසීමට සහ අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව වැඩිදුර පරීක්ෂණ හා ප්‍රතිකාර ලබා ගැනීමට හැකි වන පරිදි ඵලදායී ප්‍රතිකාර සඳහා යොමු කිරීමේ මාර්ග ස්ථාපිත කිරීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා සපයන්නන් සන්නද්ධ විය යුතුයි.

ගුණාත්මක රෝග නිර්ණය සහ ප්‍රතිකාර සඳහා සමාන ප්‍රවේශයක් ලබා දීම රජයේ මූලික වගකීමක් ලෙස පැවතිය යුතුයි. නවීන රෝග විනිශ්චය පහසුකම්, වෛද්‍ය තාක්ෂණය, අත්‍යවශ්‍ය ඖෂධ, විශේෂිත ප්‍රතිකාර සේවා සහ ඒවා සැපයීමට අවශ්‍ය මානව සම්පත් සඳහා අඛණ්ඩව ආයෝජනය කිරීමත් ඉතා වැදගත්. පුද්ගලයෙකු ජීවත් වන ස්ථානය හෝ මූල්‍යමය හැකියාව මත ගුණාත්මක පිළිකා සත්කාර ලබා ගැනීමේ හැකියාව රඳා පවතින්න බැහැ.

ඒවගේම ප්‍රතිකාර සමඟ පිළිකා සත්කාර අවසන් වෙන්නේ නැහැ. පුනරුත්ථාපනය, පිළිකා ජයගැනීමෙන් පසු වැඩසටහන් සහ සහන සත්කාර මෙන්ම මෙම ගමන පුරා විශාල වගකීමක් දරන පවුල්වල සාමාජිකයින් සහ රැකබලා ගන්නන් ද හඳුනාගෙන ඔවුන්ට සහාය වීමත් අත්‍යවශ්‍යයි.

ඒ නිසා සෞඛ්‍ය සේවා ශ්‍රම බලකාය වෙනුවෙන් ආයෝජනය කිරීම ඉතාමත්ම වැදගත්. වෛද්‍ය විද්‍යාවේ සහ පිළිකා ප්‍රතිකාරවල දියුණුවට සමගාමීව කටයුතු කිරීම සඳහා වෛද්‍යවරුන්, හෙදියන්, වෛද්‍ය කාර්මික ශිල්පීන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන්ට අඛණ්ඩ අධ්‍යාපනය, විශේෂිත පුහුණුව සහ වෘත්තීය සංවර්ධන අවස්ථා අවශ්‍ය වෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ඉටු කරන වැදගත් කාර්යභාරය මෙන්ම පර්යේෂණ සහ ප්‍රතිපත්ති සම්පාදනය අතර ශක්තිමත් සබඳතා ගොඩනැගීමත් අවශ්‍යයි.

දකුණු ආසියානු කලාපය පුරා රටවල් කාලෝචිත රෝග නිර්ණය, අත්‍යවශ්‍ය ඖෂධ, විශේෂිත ප්‍රතිකාර පහසුකම්, සෞඛ්‍ය යටිතල පහසුකම් සහ ප්‍රමාණවත් පුහුණුව ලත් පිළිකා රෝග පිළිබඳ ශ්‍රම බලකායක් සම්බන්ධ පොදු ගැටලුවලට මුහුණ දෙන බැවින් කලාපීය සහයෝගීතාවත් වැදගත් බවත්, දකුණු ආසියානු පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය සම්මේලනය ඒ සඳහා වටිනා වේදිකාවක් සපයන බවත් අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website