2020 සිට 2026 දක්වා විදේශ රටවල් විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ධීවර කාර්මිකයන් සහ ධීවර යාත්‍රා සංඛ්‍යාවේ අඩුවීමක්

විදේශ රටවල් විසින් අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකික ධීවර කාර්මිකයන් සහ ධීවර යාත්‍රා සංඛ්‍යාවේ අඩුවීමක්, 2020 වර්ෂයේ සිට 2026 වර්ෂය දක්වා කාලය තුළ සිදු වී ඇති බව පසුගියදා පාර්ලිමේන්තුවේදී සභාගත කරන ලද වාර්තාවකින් අනාවරණය වෙයි.

ඒ අනුව, ඒ අනුව, 2020 වර්ෂයේදී ධීවර යාත්‍රා 22ක් සහ ධීවර කාර්මිකයින් 126 දෙනෙකු විදේශ රටවල් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, 2021 වර්ෂයේදී එම සංඛ්‍යාව යාත්‍රා 24ක් සහ ධීවර කාර්මිකයින් 134ක් ලෙස වාර්තා වී ඇත. 2022 වර්ෂයේදී යාත්‍රා 20ක් සහ ධීවර කාර්මිකයින් 103ක් ද, 2023 වර්ෂයේදී යාත්‍රා 23ක් සහ ධීවර කාර්මිකයින් 116ක් ද අත්අඩංගුවට ගෙන තිබේ. 2024 වර්ෂයේදී එම සංඛ්‍යාව ඉහළ ගොස් ධීවර යාත්‍රා 30ක් සහ ධීවර කාර්මිකයින් 165ක් දක්වා වාර්තා වී ඇත. කෙසේ වෙතත්, 2025 වර්ෂයේදී අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා සංඛ්‍යාව 19ක් දක්වාත්, ධීවර කාර්මිකයින් සංඛ්‍යාව 111ක් දක්වාත් අඩු වී තිබේ. 2026 වර්ෂයේදී මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති ධීවර යාත්‍රා සංඛ්‍යාව 07ක් වන අතර, ධීවර කාර්මිකයින් සංඛ්‍යාව 40 කි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේදී ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ සභාගත කළ පිළිතුරෙන් ඉහත කරුණු අනාවරණය විය.

ඉන්දියාවේදී සහ මාලදිවයිනේදී ශ්‍රී ලාංකික ධීවරයින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධීන් සංඛ්‍යාව ඉහළ යාම වැළැක්වීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ගත හැකි ක්‍රියාමාර්ග ලෙස ද්විපාර්ශ්වික සාකච්ඡා ශක්තිමත් කිරීම සහ ධීවරයින් දැනුවත් කිරීම මෙන්ම ශ්‍රී ලංකාව–මාලදිවයින අතර විශේෂ එකඟතාවක් ඇති කර ගැනීම දක්වා ඇත.

මාලදිවයින් සමුද්‍රීය බල ප්‍රදේශයට ඇතුළුවීමේදී අදාළ අවසර සහ ක්‍රියාපටිපාටි නිසි ලෙස අනුගමනය නොකිරීම, එරට මුහුදු සීමාවේදී ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රා අත්අඩංගුවට ගැනීමට බලපාන විශේෂ හේතුවක් වන බවත්, ප්‍රධාන වශයෙන් ඉන්දියානු අනන්‍ය ආර්ථික කලාපය (Exclusive Economic Zone -EEZ) තුළ ධීවර කටයුතුවල නිරතවීම සහ ධීවර යාත්‍රා මගින් සිදු කරන නීතිවිරෝධී භාණ්ඩ ප්‍රවාහන කටයුතු සිදු කිරීම, ඉන්දියානු මුහුදු සීමාව තුළදී දේශීය ධීවර යාත්‍රා අත්අඩංගුවට ගැනීමට බලපාන විශේෂ හේතුවක් වන බවත් සභාගත කළ පිළිතුරෙහි කියවෙයි.

ධීවර යාත්‍රා සඳහා ගෝලීය ස්ථාන නිර්ණයන පද්ධතිය (Global Positioning System – GPS) සහ යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය (Vessel Monitoring System – VMS) උපකරණ භාවිතයෙන් ශ්‍රී ලාංකික ධීවර කාර්මිකයන් සහ ධීවර යාත්‍රා අත්අඩංගුවට පත්වීම් අවම කර ගැනීමට හැකි බව ද ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ මාලදිවයින යන රටවලදී අත්අඩංගුවට පත්වන ධීවරයින්ට අදාළ නීතිමය ක්‍රියාපටිපාටි සඳහා දීර්ඝ කාලයක් ගතවීම සහ අධික පිරිවැයක් දැරීමට සිදු වීම සැලකිල්ලට ගනිමින්, එම නීතිමය ක්‍රියාපටිපාටි කඩිනම් කිරීමට ගත හැකි පියවර ද සභාගත කළ පිළිතුරෙහි වැඩිදුරටත් සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website